කම්හල්වල - ගෙවල්වල - හෝටල්වල “විදුලි බඩු” පාවිච්චිය අඩකින් බහී


සුජිත් හේවාජුලිගේ

අධික විදුලි බිල දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් රටපුරා කර්මාන්තශාලාවල, හෝටල් සහ ආපනශාලාවල හා නිවෙස්වල විද්‍යුත් උපකරණ පාවිච්චිය සියයට 50කින් පමණ අඩුවී ඇතැයි වාර්තා වෙයි.


විශේෂයෙන්ම බොහෝ නිවාසවල විදුලිය වැඩියෙන්ම වැයවන ශීතකරණ, විදුලි පංකා , වතුර ජෝගු, විදුලි ඉස්ත්‍රික්ක යනාදි උපකරණ පාවිච්චිය සම්පූර්ණයෙන්ම නතර කර ඇතැයි විදුලි පාරිභෝගික සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.   

අධික විදුලිය ගාස්තු හේතුවෙන් හෝටල් ආපනශාලා සහ වෙළෙඳසල්වල විශේෂයෙන්ම ශීතකරණ පාවිච්චියද හරි අඩකට වැඩි සංඛ්‍යාවකින් නතර කර දමා ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.   


සමහර වෙළෙඳසල්වල ශීතකරණවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා නොදීම හේතුවෙන් ඒවායේ ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පැන නැගී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.   


තවද විදුලි උපකරණ මිලදී ගැනීමද සියයට 50 කින් 60 කින් පහළ බැස ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කළේය.   
මේ අතර විදුලිය ගාස්තු සියයට 25 කින් පමණ අඩු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලා සිටියහ.