කැබිනට්ටුවේදී ෆයිසර් එක්ක හකීම් සහ රිෂාද් පැටලෙති


අලුත් අවුරුද්දෙන් පසුව පළමු කැබිනට් රැස්වීම ගිය අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත ගෙන ඒමේ කෙටුම්පත මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි. ඒ ගැන සුසිල් ප්‍රේමජයන්ත, මංගල සමරවීර, චම්පික රණවක, අකිල විරාජ් කාරියවසම් ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක්ම අදහස් දැක්වූහ.


නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද පනත ගැන පැහැදිලි කරන්නට නිලධාරියෙක් පැමිණ සිටියේය. චම්පික රණවක කීවේ අනාගතයේ ආ හැකි ඉලෙක්ට්‍රොනික් යුද්ධයකට මුහුණ දිය හැකි ලෙස මේ පනත් හදන්න ඕනෑ යැයි කියාය.


පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා පළාත් පාලන මැතිවරණ පනතට ගෙන ආ යුතු සංශෝධන ඇතුළත් පත්‍රිකාවක් ෆයිසර් මුස්තාපා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. “පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැති එක මගේ දුර්වලතාවක් විදියට සමහරු දකිනවා. මම මේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා” යැයි ෆයිසර් කියද්දී, හකීම් ඊට විරෝධය පළකරමින් කීවේ “මේකට අදාළ ඇමැතිගෙන් අදහස් අරගෙන නැහැ” කියාය. රිෂාද් බද්යුදීන් ද ඒ චෝදනාවම කළේය. ඒ නිසා මේකට එකඟ නැතැයි හකීම් කීවේ ෆයිසර්ට විරෝධයක් ද පළ කරමිනි. “මම මේ සාකච්ඡාවලට සහභාගි වෙච්ච අයගේ නාමලේඛනයක් මේ සමග ඉදිරිපත් කරල  තියෙනවා. හැබැයි ඔය අදහස් ගත්තේ නෑ කියන අය නම් මේ සාකච්ඡාවලට ඇවිත් නැහැ” යැයි ෆයිසර් කීවේය. මැතිවරණය තියන්නෙ මොන ක්‍රමයට ද කියල රටට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොන ක්‍රමයකට හරි ඡන්දය වහාම තියන්න. නායකතුමාලා දෙන්නම එකතු වෙලා මේ ගැන තීන්දුවක් ගන්න කියාය.


ජනපති මෛත්‍රී කීවේ තමාට ද අවශ්‍ය ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බවය. “හැබැයි මම ආපස්සට ගන්න ලෑස්ති නැහැ. අලුත් ක්‍රමයට තමයි ඡන්දය තියන්නේ. මේ සංශෝධන ටික ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න” යැයි ජනාධිපතිවරයා කීවේය.