අජන්ත කුමාර අගලකඩ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය රුපියල් කෝටි 1000ක මුදලක් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන් මේ සතියේ ඉල්ලීමක් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
පළාත් පාලන මැතිවරණයට රුපියල් කෝටි 1000 ක මුදලක් අවශ්‍ය බව මහා භාණ්ඩාගාරයට මීට පෙර ද දැනුම් දී ඇති බව කී සභාපතිවරයා මේ සතියේ ඒ සඳහා නැවත සිහිකැඳවීමක් කරන බවද සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය මේ සතියේ දී නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව සති දෙකකින් පසුව නාමයෝජනා කැඳවා මැතිවරණය මාර්තු මස මුල දී පැවැත්වීමට සැලසුම් කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණය මාර්තු මුල පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.