• මිනීමැරුම් 497 ක්
• සොරකම් 1460 ක්
සුජිත් හේවාජුලිගේ
කප්පම් ගැනීම් ඇතුළු විවිධ හේතු මත පුද්ගල පැහැරගැනීම් 3596ක් මේ වසරේ මුල් මාස 11 තුළ සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
එම පැහැරගැනීම් ප්‍රමාණය ඊට කලින් වසරට (2021) සාපේක්ෂව 2800 ක පමණ වැඩිවීමක් බවද ඔහු පෙන්වා දුන්නේය. 2021 වර්ෂයේදී සිදුව ඇති පැහැරගැනීම් සංඛ්‍යාව 835 කි.
මේ අතර මේ වසරේ මුල් මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 497 ක් සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පැවසූ මහාචාර්යවරයා එම ඝාතන වලින් සියයට 46ක් (ඝාතන 223ක්) සිදුවී ඇත්තේ වෙඩි තැබීම් සහ පහරදීම් නිසා බවද ප්‍රකාශ කළේය.
එසේම මේ වසරේ මුල් මාස 11 තුළ වාහන සොරකම් 1460ක් සිදුවී ඇති බවත් සොරකම් කරන ලද වාහනවලින් බහුතරයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බවත් හෙතෙම සඳහන් කළේය.
වාහන සොරකම් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප්‍රමාණය සියයට 39කි.
මේ වසරේ මුල් මාස 11 තුළ ගෙවල් බිඳුම් 6208ක්ද කොල්ල කෑම් 2159 ක්ද සිදුවී ඇතැයි පවසන වසන්ත අතුකෝරළ මහතා වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දරුණු අපරාධවල වැඩිවීමක් දක්නට ලැබෙන බවද අනාවරණය කළේය.
අගෝස්තු මාසයේදී අපරාධ 3722ක්ද සැප්තැම්බර් මාසයේදී අපරාධ 2159ක්ද සිදුව ඇතැයි ඔහු කීවේය.
මේ වසරේ මුල් මාස 11 තුළ රටේ සිදු වූ බරපතළ අපරාධ සංඛ්‍යාව විසි නව දහස් නවසිය තිහකි. ඉන් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ බස්නාහිර පළාතේය. එම සංඛ්‍යාව දස දහස් අටසිය හැත්තෑ නවයකි.