ගෝඨාභයට සහාය පතා ප්‍රධාන රැස්වීම් 23ක්


(අජන්ත කුමාර අගලකඩ)   

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ලබන 24 වැනිදා සිට ප්‍රධාන රැස්වීම් 23ක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත.   

එහි පළමු වැන්න ලෙස​ පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය ලබන සෙනසුරාදා (24) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

 
මේ අතර ලබන 31 වැනිදා පොදුජන පෙරමුණේ කාන්තා සම්මේලනයත්, ලබන මස 2 වැනිදා පක්ෂයෙ වෘත්තීය සමිති සම්මේලනයත් කොළඹ 02 ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.   


ගොවි, ත්‍රිරෝද රථ, පෞද්ගලික බස් රථ, සමුපකාර, විශ්‍රාමිකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, සමෘද්ධි, කෘෂිකර්ම, පෙර පාසල් ගුරුවරුන් ආදී විවිධ ක්ෂේත්‍ර 20ක සම්මේලන 20ක් ද එක සම්මේලනයකට 5000 බැගින් ගෙන්වා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ඔහු කීවේය.   


මේ අතර ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සෙසු දේශපාලන පක්ෂවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුන්වාදීමේ සමුළු කිහිපයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ඒ අනුව පිවිතුරු හෙළ උරුමයේ සමුළුව ලබන මස 1 වැනිදා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ දී ද ජාතික නිදහස් පෙරමුණේ සමුළුව ලබන මස 8 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ද පැවැත්වෙන බවත් හෙතෙම සඳහන් කළේය.