(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවේ සිට එක්සත් ජාතික පක්ෂයට ප්‍රහාර එල්ල කළද ජනාධිපතිවරයා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිදු විරසකයක් නොමැති බවත් ජනාධිපතිවරයා එසේ ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දගොඩ වැඩි කර ගැනීමේ දේශපාලන උපක්‍රමයක් වශයෙන් බවත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
කවරාකාරයේ ප්‍රහාර, ප්රතිවිරෝධතා තිබුණද පෙබරවාරි 10 වැනිදායින් පසුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා ශක්තිමත්ව රජය ඉදිරියට ගෙනයන බවද ඇමැතිවරයා පැවසීය.
පෙබරවාරි 10 වැනිදායින් පසුව තනි එජාප ආණ්ඩුවක් බිහි කරන බවට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ ද එබඳු ප්‍රකාශ කරන තරුණ මන්ත්‍රීවරුන්ට දේශපාලන අවබෝධයක් නොමැති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයට බාර දී තිබූ ආර්ථිකය මෙහෙයවීමේ වගකීම තමන් අතට පවරා ගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ පැවසීය.
‘‘රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින ආර්ථික කමිටුවෙන්. එම කමිටුවෙන් ගන්නා සෑම තීරණයක්ම කැබිනට් මණ්ඩලයට දාලා අනුමැතිය අරගෙනයි ක්‍රියාත්මක කරන්නේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිතුමයි. එතුමාගේ මූලිකත්වයෙන් රැස්වෙලා ගන්න තීරණ තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා එතුමා මොන අදහසින් එහෙම ප්‍රකාශයක් කළා ද කියලා හිතාගන්න අමාරුයි.