වසර 30ක පැටිකිරිය එළිදකී
(දයාසීලි ලියනගේ)
වසර 30 ක කාලය පුරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීමේදී සියයට 80 කට අධික ප්‍රමාණයක් ව්‍යවස්ථා විරෝධීව පත්කර ඇති අතර මෙම කාලය තුළ පක්ෂ මාරු කර ඇති දේශපාලනඥයන්ගෙන් සියයට 85ක ප්‍රමාණයක් එසේ මාරුවී ඇත්තේ තනතුරු ලබාගෙන බවද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
පැෆරල් සංවිධානය ඇතුළුව සංවිධාන ගණනාවක් ඒකාබද්ධව මෙම සමීක්ෂණය සිදුකර තිබෙන අතර මෙවැනි ක්‍රියා වැළැක්වීමට නීතිමය රාමුවක් සැකසීමට පියවර ගන්නා බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීමේදී පාර්ලිමේන්තු නියෝජනයක් නොලබනා කොටස්වලට හා විශේෂඥ දැනුම ඇති අයට අවස්ථාව ලබාදීම ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුතු වුවත් සියයට 80 ක පිරිසක් එම අරමුණෙන් බැහැරව පත්කර ඇතැයිද රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන් බොහොමයක් දෙනා ජනතාව නොසළකා පක්ෂ මාරු කිරීම සිදු කරනු ලබන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් බවද ඔහු කීය.