තියෙන සල්ලි ටික අත්‍යවශ්‍ය වියදම්වලටද? පුංචි ඡන්දයටද?


රාජ්‍ය ඇමැති සේමසිංහ

දයාසීලි ලියනගේ 

රටේ අත්‍යවශ්‍ය වියදම් හා ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවාද? නැතහොත් පළාත් පාලන මැතිවරණය පවත්වනවාද? යන්න පිළිබඳව කඩිනමින් තීරණයකට එළඹීමට රජයට සිදුවී ඇති බව වාර්තා වේ. 

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ, රටේ පවතින තත්ත්වය මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම බරපතළ අභියෝගයක් වී ඇති බවයි. 


රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සුබසාධන කටයුතු ඇතුළුව අනිවාර්ය වියදම් සඳහා මසකට රුපියල් බිලියන 135ක් වැය වන අතර, අමතර වියදම් දැරීම කළ නොහැකි තත්ත්වයක් බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය. 


අමතර වියදම් ඉතා අසීරුවෙන් කළමනාකරණය කර ගැනීමට සිදුවී ඇති අතර, මේ මොහොතේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවාද? දේශපාලනය කරනවාද යන්න තීරණය කිරීමට සිදුවී ඇතැයි ඔහු කීය. 


මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක මුදලක් ලබාදීම බරපතළ අභියෝගයක් බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.