ශ්‍රී ලංකා තේ මණ්ඩලය
(උපුල් වික්‍රමසිංහ)
තේ වගාව සඳහා යොදා ගැනෙන රසායනික පොහොර මෙට්‍රික් ටොන් 52,000ක් මේ වනවිටත් තේ කර්මාන්තශාලා හරහා අමු තේ දලු සපයන නිෂ්පාදකයන් වෙත ලබා දෙමින් පවතින නිසා තේ කර්මාන්තයට අවශ්‍ය පොහොරවල හිඟයක් නැති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ මේ මාසයට අවශ්‍ය පොහොර ලබා දෙමින් තිබෙන නිසා පොහොර හිඟයක් ඇති බවටත් ඒ හේතුවෙන් තේ දලු අස්වනු අඩු වී ඇති බවටත් නගන චෝදනා පදනම් විරහිත බවය.
ඉදිරි මාස තුන ඇතුළත තේ වගාව සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සම්පූර්ණයෙන්ම යෙදීමට හැකි වනු ඇති බව කී කොමසාරිස්වරයා, මසකට කිලෝ ලක්ෂයක ධාරිතාවෙන් යුතු තේ පොහොර නිපදවීම සඳහා ව්‍යවසායකයන් ලියාපදිංචි කර ඇති බවත් ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ තේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර නිසි පරිදි නොලැබෙන නිසා තේ අස්වනු තුනෙන් දෙකක ප්‍රමාණයකින් පහළ වැටී ඇති බවය.
හිඟයකින් තොරව පොහොර ලබා දෙමින් සිටින බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ද විශාල පොහොර මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් පොහොර මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීවේය.