තේරීම් කාරක සභාවට ජනපති නොයයි


(අජන්ත කුමාර අගලකඩ)  

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කැඳවීමක් කළද ජනාධිපතිවරයා ඊට සහභාගි නොවීමට තීරණය කර ඇත.  


ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා ද කාරක සභාව හමුවට කැඳවීමට එම කාරක සභාව තීරණය කර තිබිණි. 

 
ජනාධිපතිවරයාට ප්‍රකාශය ලබාදීම සඳහා කැමති දිනයක් තෝරා ගැනීමට හැකිවෙන සේ දින තුනක් යෝජනා කර යැවීමට ද කාරක සභාව තීරණය කර තිබූ නමුත්, එවැනි කැඳවීමේ ලිපියක් ජනාධිපතිවරයා වෙත මෙතෙක් ලැබී නැතැයි ද වාර්තා වේ. 

යම් හෙයකින් එවැනි කැඳවීමක් ලැබුණ ද ජනාධිපතිවරයා කාරක සභාව හමුවට නොයාමට තීරණය කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


පාර්ලිමේන්තු කාරක සභාව හමුවට ජනාධිපතිවරයා කැඳවිය නොහැකි බවත්, එවැනි කැඳවීමක් කළද, තමා ඊට සහභාගි නොවන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට මාස කිහිපයකට ඉහතදී පුවත්පත් කතුවරුන් සමග පැවැති හමුවකදී ද ප්‍රකාශ කර තිබිණි.