දැනට තියෙන බිත්තර වී බුසල් 5000 ප්‍රමාණවත් නෑ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


ඉන්දික හේවාවිතාරණ
හානි වී තිබෙන කුඹුරු සඳහා නොමිලේ බිත්තර වී ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, දැනට රජය සතුව බිත්තර වී බුසල් 5000ක පමණ ප්‍රමාණයක් පවතින බවත් එය ප්‍රමාණවත්  නොවන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
මේ නිසා ගොවීන් සතුව තිබෙන බිත්තර වී පැළවීමේ ප්‍රතිශතය පරික්ෂා කර හොඳ තත්ත්වයේ බිත්තර වී ගොවීන්ගෙන් මිලදී ගෙන ආපදාවන්ට ලක්ව තිබෙන කුඹුරු හිමියන්ට නොමිලේ ලබාදෙන බවද  ඔහු සඳහන්  කළේය.

ජලගැලීම් නිසා කුඹුරු අක්කර 30,000-40,000 අතර ප්‍රමාණයකට  හානි වී තිබිය හැකි බැවින් ඒ පිළිබඳව නිවැරදිව ගණනය කිරීම් ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේය.
උඩරට හා පහත රට එළවළු වගාවන්වලට ද හානි සිදුව තිබෙන බවත් මෙම වගාවන්ට වන්දි ලබාදෙන ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති වුවද මෙවර එම ගොවීන්ට වන්දි ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත් ඔහු පැවසීය. මේ අනුව මෙවර මෙම පිරිස් සඳහා වන්දි ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් යොමු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මීට අදාළ මැදිහත් වීම සිදුකරමින් තිබෙන බවත් හෙතෙම  සඳහන් කළේය. වී වගාවේ සිදුවී ඇති පූර්ණ හානි හා අර්ධ හානි ප්‍රමාණය  නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙන්නේ අදාළ ගණනය කිරීම් කළ පසුව බවද ඔහු පැවසීය.
වී, බඩඉරිඟු, අර්තාපල්, මිරිස්, සෝයා බෝංචි සහ ලොකු ලූනු බෝග හය සැලකීමේදී වගා හානියක් සිදුවූ විට වන්දි ලබාදෙන ක්‍රමය යටතේ වර්ෂාවෙන් හෝ ජල ගැලීම් නිසා වගා හානි සිදුව තිබෙන ගොවීන්ට වන්දි ලබාදෙන බවද හෙතෙම පැවසීය.