නිසි අනුමැතියකින් තොරව ඉන්ධන බෙදුම්කරුවන්ට මිලියන 6500ක කොමිස් ගෙවලා


දයාසීලි ලියනගේ  

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 6500කට අධික කොමිස් මුදල් ගෙවා ඇති බව අනාවරණය වී ඇත.

ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් සපයා ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී ඇති සංස්ථාව පසුගිය සැප්තැම්බර් 15 වැනි දින වනවිට මෙම මුදල වැඩිපුර ගෙවා ඇති බව විගණන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. 

මෙම ඉන්ධන බෙදුම්කරුවන් බහුතරයක් දේශපාලනඥයන්ට හා සංස්ථාවේ ඇතැම් ඉහළ නිලධාරීන්ට සම්බන්ධ අය බවද සඳහන් වේ.  


ගිය ජූලි 26 වැනි දිනට ගෙවිය යුතු නියමිත කොමිස් මුදල රුපියල් මිලියන 30.7 ක් වුවද ඒ වෙනුවට රුපියල් මිලියන 98.6 ක් ගෙවීම හේතුවෙන් එක් දිනක් තුළ වැඩිපුර ගෙවා ඇති කොමිස් මුදල රුපියල් මිලියන 67.9ක්. බවද විගණන වාර්තාව සඳහන් කරයි.  


මෙලෙස වැඩිපුර කොමිස් මුදල් ගෙවීමට හේතු වී ඇත්තේ මිල සූත්‍රය පදනම් කර ගෙන කොමිස් මුදල් ගෙවීම නිසා බවද සඳහන් කර ඇත.  


මීට පෙර අලෙවිකරුවන්ට කොමිස් ගෙවා ඇත්තේ අලෙවි කරනු ලබන ඉන්ධන ප්‍රමාණයටය. එම ක්‍රමය වෙනස් කර ඉන්ධන ලීටරයකට වැයවන මුදලට කොමිස් ගෙවීම සිදුකර ඇති බවද සඳහන් වේ.