පහවසර කඩඉම් ලකුණු: ඇමැති බන්දුල පරීක්ෂණයක් ඉල්ලයි


(දයාසීලි ලියනගේ)  

 පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් ජාතික පාසල්වලට ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු තීරණය කර ඇති ආකාරය පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසට වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.  

 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් ජනප්‍රිය පාසල්වලට තෝරා ගැනීම නිලධාරීන් විසින් සිදුකරනු ලබන අතර එම ක්‍රියාපිළිවෙත විනිවිද භාවයකින් සිදුනොවීම නිසා මේ වෙන විට දෙමාපියන් බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා සිටින බව ද ඔහු කීය.  


 ප්‍රධාන පෙළේ ජාතික පාසල්වලට සිසුන් සුළු ප්‍රමාණයක් පමණක් තෝරා ගැනීම නිසා එම පාසල්වලට බඳවා ගැනීමේ අවම ලකුණු සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව ද ඇමැතිවරයා කීය.