පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම 20 වැනිද‌ා


(දයාසීලි ලියනගේ) 

නව වැනි පාර්ලිමේන්තුවේ නව සභාවාරය ලබන 20 වැනිද‌ා පස්වරු 3ට ආරම්භ වෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය. 


පාර්ලිමේන්තුව රැස්වීමේ නිල ගැසට් පත්‍රිකාව අද හෝ හෙට (16 හෝ 17) නිකුත් කිරීමට නියමිතව ඇත. 

නව කතානායක තනතුරට හිටපු ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පත්වනු ඇතැයි වාර්තා වෙන අතර පසුගිය බ්‍රහස්පතින්ද‌ා ඔහු පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මහලේකම්වරයා සමග පැය කීපයක්ම සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. 


 යෝජනා ස්ථිරත්වයෙන් පත්වෙන කතානායකවරයා මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ දිව්රුම් දීමෙන් පසු සියලු මන්ත්‍රීවරු හා මැති ඇමැතිවරු නව කතානායකවරයා හමුවේ දිව්රුම් දීම සිදු වේ. 


 ඉන් අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා හා කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා තේරී පත් කිරීම සිදුවේ. 


 පාර්ලිමේන්තුවේ නව සභාවාරය සෞඛ්‍ය නිර්දේශ මත පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරුන්ට මුඛ ආවරණය පැළඳීම අනිවාර්ය වෙන අතර එකිනෙකා සිප වැළඳ ගැනීම නොකළ යුතු බවට ද උපදෙස් දී ඇත. පාර්ලිමේන්තු සභාවේ ආසන 2 ක් අතර අඩි 2 1/2 ක පමණ දුර ප්‍රමාණයක් පවතින නිසා සභාව තුළ දුරස්ථභාවය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවන බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය.