පාලන මිල ඉවත් කිරීමෙන් හාල් මිල ඉහළ ගිහින්!


(මහින්ද නිශ්ශංක)  
දේශීය හා ආනයනික සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල රජය විසින් ඉවත් කිරීමෙන් පසු වෙළෙඳපොළේ සහල්වල සිල්ලර මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.  

වෙළෙඳපොළේ සහල් මිල ඉහළයාම වැළැක්වීම සඳහා පනවා තිබුණු සහල් කිලෝවක් අලෙවි කළ යුතු උපරිම මිල ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් පසුගිය 16දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබීය.  


සහල් පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළෙඳුන් හිතු හිතු මිලට සහල් අළෙවි කිරීම ආරම්භ කිරීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳ පොළේ දේශීය සම්බා කිලෝව රුපියල් 99-110 වශයෙන්ද, නාඩු කිලෝව රුපියල් 95ත් 99ත් වශයෙන්ද, සුදු කැකුළු කිලෝව රුපියල් 80ත් 90ත් වශයෙන් ද අළෙවි කරන බව වාර්තා වේ.  


මෙයට අමතරව ආනයනික නාඩු සහල් කිලෝව රුපියල් 80කට ද පොන්නි සම්බා කිලෝව රුපියල් 85කට හා කැකුළු රුපියල් 80කට අලෙවි කරන බව පාරිභෝගිකයෝ පවසති.  


මේ අතර ලංකා සතොස මගින් දේශීය සම්බා කිලෝව රුපියල් 87කටද, නාඩු කිලෝව රුපියල් 78කටද, සුදුකැකුලු කිලෝව රුපියල් 65කට හා රතු කැකුලු කිලෝව රුපියල් 74කට අලෙවි කරන බව ලංකා සතොස ප්‍රකාශකයෙක් පැවැසීය.  


පිටකොටුව තොග වෙළෙඳ පොළේ ආනයනික සම්බා කිලෝවක් රුපියල් 80කටද නාඩු කිලෝවක් රුපියල් 70ක්ද, කැකුලු කිලෝව රුපියල් 60ක් වශයෙන් පැවැති බව සහල් ආනයනකරුවෝ පවසති.  


සහල් අවශ්‍ය තරම් පවතින නමුත් ආනයන සහල් සඳහා ඉල්ලුම විශාල වශයෙන් අඩුවී ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.