පොලිස්පතිට මොකද වෙන්නේ?


 

‘මට මේක ඔටුන්නක් නෙවෙයි මහත්වරුනි, කරනවා නම් කරනවා, නැතිනම් යනවා.’ මේ ප‍්‍රකාශය අන් කවරකුගේවත් නොව පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ය. ඔහු ඒ ප‍්‍රකාශය කළේ පොලිස්පති ධුරයේ වැඩ බාරගත් දිනයේදීය.   


පොලිස්පති ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසු ජයසුන්දර මහතා කතාබහට ලක්වූ අවස්ථා කිහිපයක්ම විය. ‘නිලමේ’ කෙනෙකු අත්අඩංගුවට නොගන්නා බවට ප‍්‍රසිද්ධියේම දුරකතනයෙන් ‘සර්’ කෙනෙකුට උපදෙස් දුන්නේය. නීතිය නමන ආකාරයද ප‍්‍රසිද්ධියේ කිව්වේය. දැන් යළිත් වරක් වීඩියෝවක් ‘ලීක්’’ වී ඇත. එහි දැක්වෙන්නේ පොලිස්පතිවරයා පුද්ගලයකුගේ කොළරයෙන් අදින ආකාරයත් ඔහුට බැණවදින ආකාරයත්ය. තවත් තැනකදී ඇඟිල්ල දිගු කර කාන්තාවකට මොනවාදෝ කියනවා දක්නට තිබේ.  
පොලිස්පතිවරුන් සම්බන්ධ වඩාත් කතාබහට ලක්වන වීඩියෝ ‘ලීක්’ වූ පළමු අවස්ථාව මෙය නොවේ.     


 පොලිස්පති ලෙස වැඩ බාර ගැනීමෙන් පසු එක්තරා අවස්ථාවක ජයසුන්දර මහතා ‘ඔබට නීතිය කඩන්න බෑ, හැබැයි නීතිය නැමුවහැකියි. අපි නමාගෙන යං නීතිය.’ යනුවෙන් ප‍්‍රකාශයක් කළ අතර එම ප‍්‍රකාශයට නීති ක්ෂේත‍්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත‍්‍රයේද දැඩි විවේචන එල්ල විය.  


පසුගිය පෙබරවාරි මස 15 වැනි දා පොලිසියේ උසස් නිලධාරීන් හට විශේෂ රැස්වීමක් පැවැත්විණි. එහිදී ප‍්‍රකාශයක් කර ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා ඇත්තේ වැඩ රාජකාරි අතපසුවීම වළක්වා ගැනීම සඳහා උදෑසන මිනිත්තු කිහිපයක් ආනාපානසති සහ මෛත‍්‍රී භාවනාව වැඩීමට උපදෙස් දෙන ලෙසයි. ඉන් පසු උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු භාවනා කරන ලෙස පහළ නිලධාරීන්ට දැනුම් දෙන්නැයි සහකාර පොලිස් අධිකාරීවරුන් හරහා උපදෙස් දී තිබිණි. තවත් සමහරු එය තඹ සතේකට ගණන් ගත්තේ නැත.   


ඉන් සතියකට පමණ පසු එවකට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ සහභාගීත්වයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. එම අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කීවේ පොලිස්පති එවැනි නියෝගයක් දී නැති බවයි. එය සම්පූර්ණ බොරු කතාවක් බව ඔහු කීවේය.  


කෙසේ වෙතත් ඉන් අනතුරව 2017 අප්‍රේල් මස 17 වැනිදා ‘සියලුම පොලිස් ස්ථාන / පොලිස් කාර්යාලවල දෛනික රාජකාරි කටයුතු ආරම්භ කිරීම’ මැයෙන් සියලු පොලිස් ස්ථාන වෙත චක‍්‍රලේඛයක් යැවීය. එහි අංක තුන යටතේ සඳහන් කර ඇත්තේ සියලුම නිලධාරීන් තමන්ගේ ආගමික ලබ්ධියන් අනුව දෛනික වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර විනාඩි 15ක කාලයක් මානසික ඒකාග‍්‍රතාවයක් මූලික කොටගත් මානසික ව්‍යායාමයක නිරත වීම ගැනයි.   


එම චක‍්‍රලේඛයේ තුන් වැනි වගන්තියේ දක්වා ඇත්තේ මිනිත්තු පහළොවක කාලයක් භාවනාවක යෙදිය යුතු බවයි. එහි රෝම ඉලක්කම් දෙක යටතේ පොලිස්පතිවරයා යෝජනා කර ඇති ක‍්‍රමවේදය මෙසේය.   


පළමු විනාඩි තුනේ දී අරමුණ පැහැදිලි කර ගැනීම ද, ඊළඟ විනාඩි පහේදී මෛත‍්‍රී භාවනාව ද, ඊළඟ විනාඩි පහේදී ආනා පාන සති භාවනාව ද අවසන් මිනිත්තු දෙකේදී පසු විපරම මෙනෙහි කිරීම ද යෝජනා කර තිබේ. එම චක‍්‍රලේඛයේ රෝම ඉලක්කම් තුන යටතේ දක්වා ඇත්තේ මෙම වැඩසටහන සිදු කරනු ලබන අවස්ථාවන්හිදී සෑම තරාතිරමකම නිලධාරීන් එයට සහභාගී විය යුතු බවයි. තමන් විශ්වාස කරනු ලබන ලබ්ධියන්ට අනුව සුදුසු භාවනා ක‍්‍රම අනුගමනය කිරීම සුදුසු බව ද චක‍්‍රලේඛයේ සඳහන්ය.   


පසුගිය අප්‍රේල් මාසයේ දී චක‍්‍රලේඛ ප‍්‍රකාරව භාවනා කරනවාදැයි සොයා බැලීමට පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ සංචාරය කර ඇති අතර පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක‍්‍රියාකරු භාවනා නොකළැයි ඔහුට තර්ජනය කළ බවත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට බැණ වැදුණු බවත් ඒ කාලයේ වාර්තා විය. බැණ වැදීමෙන් පසු ඒ මහතාට ක්ලාන්ත ගතිය සෑදී ඇතැයි ද කියැවිණි.  


ඉන් අනතුරුව සමාජ මාධ්‍ය තුළ පසුගිය 13 වැනි දා පොලිස් මූලස්ථානයේ අප්‍රේල් මාසයේ සිදුවීමට අදාළව වීඩියෝවක් ප‍්‍රචාරය විය. එහි දැක්වෙන්නේ විදුලි සෝපානයක සිටින පුද්ගලයකුගේ කොළරයෙන් අල්ලමින් පොලිස්පතිවරයා ඔහු පිටුපසට තල්ලු කරන ආකාරය සහ යළි කොළරයෙන් ඉදිරියට අදින ආකාරයයි. ඉන් පසු ඇඟිල්ල දිගු කර යමක් කියා යළි ඔහුට පහර දීමට සේ අත ඔසවන ආකාරයද වීඩියෝවේ දැක්වේ. අනතුරුව රහස් පොලිසියට පිවිසෙන ස්ථානයේ කවුන්ටරයේ සිටින පිරිසට ඇඟිල්ල දිගු කර යමක් ප‍්‍රකාශ කරන අයුරු දැක්වේ.  


මෙය පහරදීමක් ද? නැද්ද ?  
පොලිස්පතිවරයා එදා ගියේ භාවනා කරනවාදැයි සොයා බැලීමට බවත්, එතැන යම් සිදුවීමක් සිදුවූ බවත් පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පිළිගත්තේය. ආගමික කාරණයක් සම්බන්ධයෙන් චක‍්‍රලේඛ පැනවීම ප‍්‍රශ්නයක් බව කැබිනට් සම ප‍්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කීවේය. භාවනාව ගැන සොයා බැලීමට යන පොලිස්පතිවරයා මෙලෙස හැසිරීම ගැන මාධ්‍යවේදීහු දිගින් දිගටම ප‍්‍රශ්න කළහ.  


වද හිංසා කිරීම ගැන පොලිසියට චෝදනා එල්ලවෙන මොහොතක පොලිස්පතිගේ මේ හැසිරීම නිසා එම චෝදනා සනාථ නොවන්නේදැයි කැබිනට් මාධ්‍ය හමුවේදී නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේ පොලිස්පතිගේ හැසිරීමත් සමඟ එම චෝදනාව ගැන ගැටලුවක් පැන නගින බවයි.  


එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පිළිතුරට අවස්ථාව ලබාදීම සඳහා ඒ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඔහුගේ රාජකාරි ජංගම දුරකතන අංකයට ඇමතුම් ගත් විට එක් අවස්ථාවකදී ඊට පිළිතුරු දුන් පුද්ගලයකු කීවේ පොලිස්පතිවරයා උත්සවයකට සහභාගී වී සිටින බවයි. ඉන් පසු අවස්ථා කිහිපයකදීම රාජකාරි ජංගම දුරකතන අංකයට ගත්තත් ප‍්‍රතිචාරයක් නොලැබිණි.  


මේ සම්බන්ධයෙන් විමසීමට නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ද අසාර්ථක විය.      


සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙන් ප්‍රතිචාරයක් ලබා ගත නොහැකි වූ අතර, පහත දැක්වෙන්නේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා දුන් පිළිතුරය.  
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර - සෑම පොලිස් නිලධාරියකුටම චක්‍රලේඛයක් මගින් දැනුම් දීලා තියෙනවා ජාතික ගීය, පොලිස් ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මානසික ඒකාග්‍රතාව සඳහා යම් ව්‍යායාමයක් කළ යුතුයි කියලා. මහජනතාවට සේවය කරද්දී පොලිස් නිලධාරීන්ගේ මනස නිරවුල්ව තියෙන්න ඕනෑ. ආගමානුකූලව ජීවත් වෙද්දී පොලිස් නිලධාරීන්ගෙන් වෙන වැරදි අවම වෙනවා. මේ නිසා තමයි මේ කාරණාව පොලිස් මූලස්ථානයේ හරියට වෙනවද බලන්න සමහර දවස්වලට පොලිස්පතිතුමාම යනවා. සමහර දවස්වලට වෙනත් නියෝජිතයෙක් යවනවා. මේ සිද්ධියේදී එකක් තමයි පහරදීමක් වෙලා නෑ.  


මාධ්‍යවේදියෙක් - පහර දෙන්නේ නැත්නම් ඒ කොලර් එක හදනවද?  
මාධ්‍ය ප්‍රකාශක - නෑ බැණ වැදීමක් කරනවා. පහරදීමක් කරන්නේ නෑ.  


මාධ්‍යවේදියෙක් - කොලර් එකෙන් අදිනවා නේද?  
මාධ්‍ය ප්‍රකාශක - කොලර් එකෙන් අදින්නෙ නෑ. ඒක හරියට බලන්න. ඊළඟ කාරණය දූෂණය කිරීමක් සම්බන්ධයෙන් කාරණයක් යනවා. ඒක සම්පූර්ණ අසත්‍යයක්.  


මාධ්‍යවේදියෙක් - පොලිස් නිලධාරීන්ගේ මානසික එ්කාග්‍රතාව ඇති කරන්නයි භාවනා කරන්නේ කියනවා. පොලිස්පතිතුමාගේ මානසික ඒකාග්‍රතාවය බිඳෙනවද?  
මාධ්‍ය ප්‍රකාශක - ඒ වීඩියෝවේ යම් අපහාසාත්මක බවක් තිබෙනවා. පොලිසියේ නීතිඥවරුන් මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය ගැන සාකච්ඡා කරනවා. නිලධාරිනියකට දූෂණය කිරීමක් ගැන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක්. වීඩියෝවත් එක්ක අසත්‍යයක් තමයි විකාශය වෙන්නේ.  


මාධ්‍යවේදියෙක් - පොලිස්පති එහෙම ප්‍රකාශයක් කරලා නෑ කියලා ඔබ කියන්නේ පරීක්ෂණයක් කරලද?  
මාධ්‍ය ප්‍රකාශක - අපේ පොලිස් නීතිඥ සංගමය පරීක්ෂා කරගෙන යනවා. නීතිපතිගේ උපදෙසුත් අරගෙන ඉදිරි සිවිල් අධිකරණ කටයුතුවලට යන්නයි අදහස් කරන්නේ.  


මාධ්‍යවේදියෙක් - ඔබ කියන්නේ නිලධාරිනියගේ කතාව. එතකොට ඒ වීඩියෝවේ තවත් පුද්ගලයකුගේ කොලරයෙන් අදිනවා. ඒ ගැන මොකද කියන්නේ?  
මාධ්‍ය ප්‍රකාශක - ඔහු ඒ ​ෙවලාවේ ලිෆ්ට් ඔපරේටර්. ඒ වෙලාවේ පොලිස් මූලස්ථානයේ කවුරුත් යන්නේ නෑ.  


මාධ්‍යවේදියෙක් - ලිෆ්ට් ඔපරේටරුත් එය නවතා ඒ වෙලාවේ භාවනා කළ යුතු ද?  
මාධ්‍ය ප්‍රකාශක - ඔව් අනිවාර්යයෙන්ම.  


මාධ්‍යවේදියෙක් - පොලිස් ප්‍රධානියා තර්ජනය කිරීම වරදක් නෙමෙයි ද?  
මාධ්‍ය ප්‍රකාශක - ඒක තමයි මම කිව්වේ. අපි බලමු.  


මාධ්‍යවේදියෙක් - ඒ නිලධාරියා චක්‍රලේඛය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වුවාද?  
මාධ්‍ය ප්‍රකාශක - විනය පරීක්ෂණ පැවැත්වීම ආයතන ප්‍රධානියාගේ අභිමතයනේ.  


මාධ්‍යවේදියෙක් - ආගමක් අදහන්නේ නැති පොලිස් නිලධාරීනුත් ඉන්නවා. ආගමික කාරණයක් සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කිරීම හරිද?  
මාධ්‍ය ප්‍රකාශක - (පිළිතුරක් නැත)  


මාධ්‍යවේදියෙක් - අපි ප්‍රවෘත්තියක් ගන්න උදේට ඔබේ කාර්යාලයට කතා කළාමත් කියනවා භාවනා කරන ගමන් කියලා?  
මාධ්‍ය ප්‍රකාශක - වැරදි කතාවක්. පොලිසියක පැමිණිලි ලියන්න ඉන්න නිලධාරියා ඒ වෙලාවේ භාවනා කරන්නේ නෑ. මාධ්‍ය මෙහෙයුම් ඒකකයේ දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ඒ වෙලාවේ භාවනා කරන්නේ නෑ.  


මාධ්‍යවේදියෙක් - ආගමික කාරණයක් සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කිරීම හරි ද?  
මාධ්‍ය ප්‍රකාශක - (පිළිතුරක් නැත). 


 

අපේ බල සීමාවට අයිති නෑ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ


‘‘පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ හැකියාවක් ජාතික පොලිස් කොමිෂන් සභාවට නැහැ. අපට බලය තිබෙන්නේ පොලිස්පතිගෙන් පහළ නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් සොයා බලන්නයි. පොලිස්පති පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ පරිදි ජනාධිපති විසින්. අපේ බල සීමාවට නොවැටෙන නිසා එම වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නේ නැහැ.’’

 

තරිඳු ජයවර්ධන