පොහොට්ටුවේ තවත් පිරිසක් ස්වාධීන වෙන්න සූදානමක්


මහින්දටත් දැනුම් දීලා

සුජිත් හේවාජුලිගේ

ආණ්ඩුව ගැන කලකිරීමට පත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තවත් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට දැනටමත් දැනුම්දී ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කළේය. 


එම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කරන බව හිටපු ජනාධිපතිවරයා එහිදී දැනුම් දී ඇතත්, මෙතෙක් සිය ප්‍රශ්නවලට විසඳුම් ලැබී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය. 


මේ අතර විදුලි බිල සියයට 70කින් වැඩි කිරීම සහ පාසල් උපකරණ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් රජයට චෝදනා කරති. 
ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම සහනයක් අවශ්‍ය බව ද ඔවුහු පෙන්වා දෙති. 


මේ අතර පසුගියදා මාධ්‍යයට අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ, ආණ්ඩුව තමන්ගේ හඬට ඇහුම්කම් නොදුන්නොත් තමන්ටද ආණ්ඩුවේ හඬට ඇහුම්කන් දීමට නොහැකි වනු ඇති බවයි. 


පාසල් උපකරණ මිල ඉහළයෑම නිසා දරුවන් පාසලට නොයන්නේ නම් මහජන නියෝජිතයකු ලෙස ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීමට නොහැකි බව ද ඔහු සඳහන් කළේය. 
විදුලිය බිල ජනතාවට දැරිය හැකි මට්ටමකට වැඩි කරන ලෙස දිසානායක මහතා ඉල්ලීමක් කළේය.