බන්ධනාගාර කොරෝනා පොකුර සීමා කරන්න වෑයමක්


(නිශාන්ත කුමාර බණ්ඩාර)   

බන්ධනාගාරය ආශ්‍රිතව පැතිරී යන කොරෝනා රැල්ල මැඩපැවැත්වීම සඳහා විශේෂ විධිවිධාන අනුගමනය කරමින් පවතින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.   

දැනට ආසාදිතයන් නේවාසිකව වෙන්කර තබා මුණ ගැසීම් සීමාකොට සංචරණය සීමා කර තිබේ.   
 බන්ධනාගාර අතර රැඳවියන් හුවමාරු කිරීම ද නතර කර ඇත.  දැනට බන්ධනාගාර රැඳවියන් හා කාර්ය මණ්ඩලය සඳහා මධ්‍යස්ථාන 4 ක් ක්‍රියාත්මකයි.   


 දැනට ආසාදිතයන් වන පිරිස කන්දකාඩු, ගල්ලෑල්ල හා වැලිකන්ද යන එම මධ්‍යස්ථානවලට යොමු කෙරේ.   
 වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය, බූස්ස, බෝගම්බර යන ස්ථානවල තත්ත්වය පාලනය කර ඇති අතර වැලිකඩ බන්ධනාගාරය තුළින් තවත් ආසාදිතයන් පිරිසක් වාර්තාවන බව ඔහු සඳහන් කළේය.   
බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 4 දෙනෙකු බන්ධනාගාරයට අනියුක්ත කර තිබේ.   


 මීට අමතරව බන්ධනාගාර රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කළ බව ද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.