(අජන්ත කුමාර අගලකඩ)
මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් ෙවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තමා පැහැදිලි තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පෙරේදා (26) පැවැති සාකච්ඡාවකදී පැවැසීය.
තමා දේශපාලන ජීවියකු බවත්, තනතුරු තිබුණත් නැතත් පණ තිබෙන තෙක් දේශපාලනයේ සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති සිරිසේන, මහතා මේ බව සඳහන් කළේ තව වසර දෙකකින් පසුව එන ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් ෙවන්නේ දැයි මාධ්‍ය ප්‍රධානියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වර්තමාන ආණ්ඩුව පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව කී ජනාධිපතිවරයා තමාගේ හෙට දවස ගැන නොසිතා තමාට තීන්දු ගැනීමට සිදුව ඇති බව පැවැසීය. ලොරි දෙකක් පිරෙන තරමට බැඳුම්කර වාර්තාවට අදාළ අතිරේක ලිපි ලේඛණ ඇතිබව කී ජනාධිපතිවරයා ඒවා එක්වරම එළියට දැමිය නොහැකි බවද කීවේ.
පසුගිය වසර දහයේදී විදේශ ණය ලෙස රුපියල් ට්‍රිලියන 10ක ණය ලබාගෙන ඇතත් වත්කම් විදියට පෙනෙන්නට ඇත්තේ රුපියල් ට්‍රිලියනයක් පමණක් බවද ජනාධිපතිවරයා කීවේය.
ගතවූ වසර තුනේදී රජයේ ආදායම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි කී ජනාධිපතිවරයා ඍජුවම භාණ්ඩාගාරයට ආ ආදායම පුද්ගලික සමාගම්වලට ගොස් ඇතැයි කීවේය.
රජයට සම්බන්ධව සිටි සහ හිටපු ඇතැම් අයගේ ව්‍යාපාරවලට එම මුදල් ගොස් ඇති බවද ජනාධිපතිවරයා පැවැසීය. බැඳුම්කර වංචාව පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව බොරු බව හිටපු ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කර ඇති බව කී ජනාධිපතිවරයා තමා කළ ප්‍රකාශයද වැරැදි යැයි රවී කරුණානායක මහතා පවසා ඇති බව සඳහන් කළේය.
මෙවැනි ප්‍රකාශවලින් සිදුවන්නේ ඔහු තවදුරටත් අමාරුවේ වැටීම බවද ජනාධිපතිවරයා කීය.
රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ කරන්නට ගිය ප්‍රකාශය කළේ නම් එය ඔහුගේ සිය දිවි නසා ගැනීමක් වනු ඇති බවද ජනාධිපතිවරයා කීවේය. ඉදිරියේදී වැටෙන්නට යන නඩුවලින් බේරීම සඳහා ප්‍රභූ චෞර සන්ධානයක් දේශපාලන පක්ෂ බේදයෙන් තොරව ගොඩනැඟී ඇති බව කී ජනාධිපතිවරයා තමා අභියෝගවලට බිය නොවන බවද කීවේය.
මෙම හමුව කොටුව ජනාධිපති මන්දිරයේදී පැවත්විණි.