මන්ත්‍රී පිරිසක් පිල් පැනීමෙන් මුස්ලිම් කොංග්‍රසය දෙදරීමේ අවදානමක්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 4 දෙනකු සහාය පළ කිරීමත් සමග එම කොංග්‍රසය දෙදරා යාමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.  

එම කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා නැගෙනහිර පළාතේ මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ දේශපාලනඥයන් ඒකරාශිකොට කොංග්‍රසයේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට සැලැසුම් සකස් කරමින් සිටින බව වාර්තා වෙයි.  


මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස් වී සාමූහිකව තීරණය කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටයි.  


එහෙත් අවසාන මොහොතේ එම පිරිස එම තීරණය වෙනස් කොට නායකත්වයට පවා එරෙහි වී යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.  


මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වයේ ඇති දුර්වලතා නිසා වෙනත් නායකයකු පත් කරගැනීම සඳහා එසේ ඡන්දය ප්‍රකාශ කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.  


ඒ අනුව මුස්ලිම් කොංග්‍රස​යේ නායකත්වය වෙනස් කොට නැගෙනහිර පළා​ෙතන් වෙනත් නායකයකු බිහි කිරීම සඳහා වැඩපිළිවෙළක් සැලැසුම් කිරීමට එම පළාතේ මන්ත්‍රීවරු පිරිසක් කටයුතු කරමින් සිටින බව මුස්ලිම් කොංග්‍රස් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.