මහ ඇමැති සමුළුවට ලක්ෂ 50ක වියදමක්


මෙවර මහ ඇමැතිවරුන්ගේ සමුළුව ලබන 6 වැනිදා හබරණ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්වේ. මෙම සමුළුව සඳහා උතුරු මැද පළාත් සභාවෙන් ලක්ෂ 50කට අධික මුදලක් වැය කරනු ලබන බවත් ආරාධිත අමුත්තන් සඳහා එක් අයකුට රුපියල් 30,000ක් පමණ වටිනා තෑගි පාර්සලය බැගින් ලබාදෙන බවටත් කතා බහක් පවතී.


රටේ මහ ඇමැතිවරුන් සංඛ්‍යාව 9 කි. ඒ පළාත් 9 සඳහාය. ප්‍රථමයෙන් මහ ඇමැති සමුළුව පවත්වනු ලැබුවේ බණ්ඩාරවෙලදීය. එස්. බී. නාවින්න, බර්ටි ප්‍රේමලාල් දිසානායක, නන්දිමිත්‍ර ඒකනායක, සමරවීර වීරවන්නි, අතාවුද සෙනෙවිරත්න සහ එවකට මහ ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රථම මහ ඇමැති සමුළුව පැවැත්විණි.


පළාත් සභාවලට අද තරම් ගැටලු එදා නොතිබුණ බව ඇමැති එස්. බී. නාවින්න මහතා සඳහන් කරයි. ප්‍රධානම අවශ්‍යතාව වූයේ පළාත් මහ ඇමැතිවරුන් අතර එකමුතු භාවය වැඩි දියුණු කිරීමයි. පළාත් අතර සම්බන්ධතාව වැඩි දියුණු කිරීම පිළිබඳව මූලික සමුළුවේදී වැඩි අවධානය දක්වා තිබිණි. ඊට අමතරව සෑම වර්ෂයකදීම මහ ඇමැති සමුළුව පවත්වාගෙන යාමට ද ප්‍රථම සමුළුවේදි තීරණය කර තිබිණි.


ඒ අනුව සෑම වර්ෂයකදීම මෙම සමුළුව පවත්වනු ලබයි. 


පළාත් මහ ඇමැතිවරුන්ගේ එකමුතුකම මූලික කර ගනිමින් ආරම්භ වූ සමුළුව මේ වනවිට ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම දක්වා ඉදිරියට පැමිණ ඇත. එහි තවත් අඩියක් ඉදිරියට තබමින් සමුළුවට පැමිණෙන මහ ඇමැතිවරුනට හා නිලධාරීන්ට ත්‍යාගයක් ලබාදීමට ද ආරම්භවී ඇත. ඒ ඒ පළාතට ආවේණික දෙයක් ත්‍යාග වශයෙන් පිරිනැමීම මෙහිදී සිදු කෙරේ.


මෙවර මහ ඇමැති සමුළුව උතුරු මැද පළාත් සභාවේ අනුග්‍රහයෙන් පැවැත්වේ.


මෙහිදී නිතැතින්ම මතුවන ප්‍රශ්නය වන්නේ මෙතරම් විශාල වියදමක් දරා මෙවැනි සමුළුවක් පැවැත්වීම රටේ ආර්ථිකයට කොතරම් හිතකරවේද යන්නයි.


මේ සම්බන්ධයෙන් අපි උතුරු මැද ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතාගෙන් විමසීමු.


ඔය කියන තරම් විශාල මුදලක් මහ ඇමැති සමුළුව සඳහා වියදම් නොකරන බවත් වැඩි මුදලක් වැය වන්නේ නවාතැන් පහසුකම් හා ආහාරපාන සඳහා බවත් උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා කියයි. වසරින් වසර සමුළුවේ සභාපතිධුරය හිමිවන පළාත මගින් මෙම සමුළුව සංවිධාන කරනු ලබනවා. මෙවර උතුරු-මැද පළාතට මෙම සමුළුව පැවැත්වීමට ලැබී තිබෙනවා.


සමුළුව සඳහා වැයවන මුදල් අයවැය මගින්ම වෙන් කරනු ලබනවා. වෙනත් ව්‍යාපෘතිවලින් මේ සඳහා මුදල් ලබාගත නොහැකියි. අනිත් කරුණ නම් පළාත් සභාවකට හෝ මධ්‍යම පළාත හෝ වෙනත් පළාතක වුවත් මුදල් වියදම් කිරීම පිළිබඳව මූල්‍ය නීති ක්‍රියාත්මක වෙනවා. 


මේ සමුළුවට ලක්ෂ 50ක මුදලක් වැය වන්නේ නැහැ. ලක්ෂ 35ක පමණ මුදලක් වැය වෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට මහ ඇමැතිවරු නිලධාරීන් ආරක්ෂක අංශ සඳහා පහසුකම් සැලසිය යුතු වෙනවා. කාට හරි මේ මුදල් වැයවීම පිළිබඳව ප්‍රශ්නයක් තිබිය හැකිනම් ඒ ගැන සත්‍ය කරුණු සොයා බලන්න. පළාත් සභාවෙ රැස්වීම් ශාලාවෙත් මෙම සමුළුව පවත්වන්න පුළුවන්. නමුත් මෙම සමුළුවේදී වැදගත්ම කරුණු ගණනක් සාකච්ඡා වෙනවා. පළාත් සභා මට්ටමේ ගැටලු මධ්‍යම රජය සමඟ පවත්නා ගැටලු ආදී කරුණු ගණනක් සාකච්ඡාවී රජයට යෝජනා කරුණු කීපයක් ඉදිරිපත් කරනු ලබනවා. අනික තිස්දාහක් වටිනා තෑගි පාර්සලයක් දෙන්නෙත් නෑ. අපේ පළාතට ආවේණික මී පැණි බෝතලයකුයි. එළඟිතෙල් භාගයකුත්, අත් යන්ත්‍රවලින් නිමැවූ සරමකුයි ඒ එන අයට දෙනවා. ඒකෙ වැරැද්දක් තියෙනවද? අපේ පළාතෙ මී පැණිවලට, හෑන්ඞ්ලුම් සරොමකට ප්‍රසිද්ධියක් ලැබෙනවා. අනිත් පැත්තෙන් පුංචි තෑග්ගක් දෙන එක අපේ සිරිතක්. 

දයාසීලි ලියනගේ