මහ ඡන්දයේ පොලිස් රාජකාරියටත් තාම මුදල් ලැබී නෑ


පොලිස්පති ඡන්ද කොමිසමට කියයි

අංජුල මහික වීරරත්න  

මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු මුදල් තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරි වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවක් පවතින බව පොලිස්පති චන්දන වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් හමුවේ සඳහන් කර තිබේ.

පොලිස්පතිවරයා මේ බව පවසා ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ කැඳවීමකට අනුව එහි ගොස් සාකච්ඡා කළ අවස්ථාවේදීය. පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉකුත් බදාදා (11) මෙම කැඳවීම කර තිබුණි.  


මැතිවරණ කොමිසම හමුවේ පොලිස්පතිවරයා කරුණු දෙකක් පැහැදිලි කර තිබේ. මෙය ගමේ ඡන්දයක් බැවින් විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇති වුවහොත් ඒ වෙනුවෙන් විශේෂ කාර්ය බළකාය කැඳවීමට සිදුවන බවත් පාලනය කරගත නොහැකි තැන් පැමිණියහොත් හමුදාව කැඳවිය හැකි බවත් පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.  
එසේම නීති විරෝධී පෝස්ටර්, දැන්වීම්, කටවුට් හා බැනර් ඉවත් කිරීමේ රාජකාරි ද පොලිසියට පැවරෙන බැවින් පොලිසිය කුලී කම්කරුවන් යොදා එම කටයුත්ත කරන බව කියා තිබේ. කම්කරුවන්ට කරන ගෙවීම් මුලින් පොලිසිය විසින් කරන අතර පසුව මැතිවරණ කොමිසම එම මුදල් පොලිසියට ලබා දෙයි.  


එසේම මැතිවරණ රාජකාරිවල නිරතවීම අමතර රාජකාරියක් බැවින් ඊට විශේෂ ගෙවීමක් කරන අතර එයද මැතිවරණ කාර්යාලය හරහා පොලිසිය වෙත ලබා දෙයි.  
ඉකුත් මහ මැතිවරණයේ රාජකාරි වෙනුවෙන් පොලිසියට ලැබිය යුතු මුදල් තවමත් පොලිසියට ලැබී නැති බැවින් පොලිස් දෙපාර්තමේන්තුව ද මූල්‍ය ගැටලුවක සිටින බව මෙහිදී පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ.  


එම නිසා මැතිවරණ රාජකාරි ආරම්භවීමට ප්‍රථම ඉකුත් මැතිවරණයේ පොලිසිය වෙත හිමිවිය යුතු මුදල ප්‍රතිපූර්ණ කරන ලෙස ද පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.