(නිශාන්ත කුමාර බණ්ඩාර)
කොවිඩ් ආසාදිතයන් සොයා කරන පරීක්ෂණවල දී තමන්ට අවශ්‍ය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලවල හිඟයක් පැවතීම නිසා දැඩි අපහසුතාවලට පත්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
දැනට තිබෙන ඇඳුම් කට්ටල විෂබීජහරණය කරමින් පාවිච්චි කරන අතර සමහර අවස්ථාවල දී එම ඇඳුම් කළමනාකරණය කිරීමේ දී අපහසුතා රැසකට පත්වන බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
රජයට පමණක් මේ සඳහා විශාල මුදලක් දැරිය නොහැකි නිසා පෞද්ගලික ආයතනවලින් හෝ ධන පරිත්‍යාගශීලීන්ගෙන් සහනයක් ලබා දෙන්නේ නම් මේ අවස්ථාවේ එය ඉතා සුවිශේෂි කාරණයක් බව ඔහු සඳහන් කරයි.
දිනපතා කොළඹ නගරයේ කොරෝනා ආසාදිතයන් හමුවන නිසා ඔවුන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තරයෙන් ගැටෙන නිසා මෙවැනි ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිකම බරපතළ ගැටලුවක් වී තිබේ.
කොළඹ නාගරික සීමාවේ අධික ජනතාවක් සුළු ඉඩ කඩ ප්‍රමාණයක ගැවසෙන නිසා කොරෝනා ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් පවතියි.
මේ නිසා එම ප්‍රදේශවල වෙසෙන ජනතාව නිරන්තරයෙන්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ද මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසීය.
දැනට දකුණු කොළඹ සීමාවේ කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කළ ද මහල් නිවාස හා ජනාකීර්ණ ප්‍රදේශවලින් රෝග ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඔහු සඳහන් කළේය.