මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පහට වැඩි කරයි


(අජන්ත කුමාර අගලකඩ)  

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ දැනට සිටින සාමාජිකයන් සංඛ්‍යාව තුනේ සිට පහ දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.  


ළඟදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව තුනේ සිට පහ දක්වා වැඩි කෙරෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය. 

ඒ අනුව ස්වාධීන කොමිෂන් සභාවක් රැස්වීමේදී සිටිය යුතු ගණපූරණය තුනක් ලෙස සංශෝධනය කෙරෙන බවද ඔහු කීවේය.  


දාහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා හඳුන්වා දීමේදී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක්ද පිහිටුවීමට තීරණය වූ අතර එහි සාමාජික සංඛ්‍යාව 5ක් විය. කොමිෂන් සභාව රැස්විය යුතු ගණපූරණය තුනක් ලෙස සඳහන් විය.  
දහනව වැනි සංශෝධනයෙන් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව තුනක් ලෙස අඩු කළ අතර එහි ගණපූරණයද තුනක් විය යුතු බව සඳහන් විය.


ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 3ක් වීමත් රැස්වීම්වල ගණ පූර්ණය 3ක් වීමත් මත පසුගිය කාලයේ ගැටලු රැසක් මතුවූ බැවින් 20 වැනි සංශෝධනයේදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 5 දක්වා වැඩිකර ගණපූර්ණය 3ක් ලෙස තැබීමට තීරණය කර ඇතැයි එම ප්‍රකාශකයා කීවේය.   


දාහත් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, අධිකරණ සේවා කොමිසම සහ මැතිවරණ කොමිසම යන කොමිෂන් සභා හතර හඳුන්වා දුන් අතර 19 වැනි සංශෝධනයෙන් එම කොමිෂන් සභා හතරට අමතරව ස්වාධීන විගණන කොමිෂන් සභාවක්ද හඳුන්වා දෙනු ලැබීය.  


ජාතික විගණන කොමිසම තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් ගෙන නැතැයිද කී එම ප්‍රකාශකයා අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා කිසිවක් 20 වැනි සංශෝධනයෙන් අහෝසි නොකෙරෙන්නේ යැයිද කීවේය.  


තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස 19 වැනි සංශෝධනයෙන් පිළිගෙන ඇති අතර එයද 20 වැනි සංශෝධනයෙන් ආරක්ෂා කෙරෙන බව හෙතෙම සඳහන් කළේය.