මුස්ලිම් කොංග්‍රස් නායකත්වය නැගෙනහිර පළාතට ඉල්ලති


(නිශාන්ත කුමාර බණ්ඩාර)
මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය හෝ ලේකම්ධුරය නැගෙනහිර පළාතට ලබාදෙන තුරු එහි නායකත්වයට බලපෑම් කරන බව නැගෙනහිර පළාත් මුස්ලිම් කොංග්‍රස් ප්‍රකාශකයකු කීය. 


දැනටමත් මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වයට බලපෑම් එල්ල කිරීම සඳහා මුස්ලිම් කොංග්‍රසයේ  ආරම්භක සාමාජිකයන් කිහිප දෙනකුම ඒකාබද්ධවී කටයුතු කරන බවද ඔහු පැවසීය.

මුස්ලිම් කොංග්‍රස් නිර්මාතෘ හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. අෂ්රොෆ්  මහතාගේ ක්‍රියාකලාපයට  සම්පූර්ණයෙන් විරුද්ධව වත්මන් නායකත්වය ක්‍රියා කරන බවද ඔහු චෝදනා කළේය. මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය දරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද පදනමක් නැති අතර එහි නායකත්වය හෝ මහලේකම් ධුරය නැගෙනහිර පළාතට ලබාදිය යුතු බව නැගෙනහිර පළාතේ මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ ප්‍රබලයෝ කිහිප දෙනකු පැවසූහ. මුස්ලිම් කොංග්‍රසය බිඳදැමීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවත් ඊට අභියෝගයක් ලෙස ‘නැගෙනහිර උදානය’ සංවිධානය බිහිකළ බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.