මහජන ආරක්ෂක ඇමැති ආණ්ඩුවේ මතය කියයි
(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ කියන ආකාරයට මෙරට ආරක්ෂක ප්රධානීන් පාවා දීමට රජය සූදානම් නැතැයි මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
යහපාලන රජය මෙන් කටයුතු කිරීමට මේ රජය කිසිසේත්ම සූදානම් නැතැයි ද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මේ රටේ ස්වාධීනත්වයට එරෙහිව එල්ල කළ අභියෝගයක් බව කී ආචාර්ය සරත් වීරසේකර මහතා ඇය කියන ආකාරයෙන් කටයුතු කිරීමට රජය කිසිසේත් සූදානම් නැති බව කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා නිලධාරින් ඉහළ තනතුරුවලට පත්කිරීම ද ඇය අභියෝගයට ලක්කර ඇති බව කී හෙතෙම ස්වාධීන රටක ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයකුගේ පත්කිරීම් සම්බන්ධයෙන් අභියෝගයට ලක්කිරීමට ඇයට ඇති අයිතිය කුමක්දැයි ප්රශ්න කළේය.
එපමණක් නොව තමාගේ පත්වීම සම්බන්ධයෙන් ද ඇය අභියෝගයට ලක්කර ඇති බවත් තමා මහජන ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ හමුදා නිලධාරියකු නිසා නොව කොළඹ දිස්ත්රික්කයෙන් මහජන ඡන්දයෙන් පළමු තැනට පත් වූ අයකු නිසා බවත් හෙතෙම කීවේය.
ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස පත් වූ ජෝ බයිඩ්න් ද එරට හමුදා නිලධාරියකු ඉහළ තනතුරකට පත්කර ඇතැයි කී ආචාර්ය වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මෙරට ජනාධිපතිවරයාට කරන අභියෝගය එරට ජනාධිපතිවරයාට නොකරන්නේ ඇයි දැයි ප්රශ්න කළේය.
මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව සකස් කර ඇත්තේ දරුස්මාන් වාර්තාවේ සඳහන් කරුණු පදනම් කර ගනිමින් බව කී වීරසේකර මහතා දරුස්මාන් වාර්තාවේ කරුණු ද වැරදි තොරතුරු මත පදනම් වූ ඒවා බව කීවේය.
මෙරට සිවිල් යුද්ධයේ අවසන් සමයේදී මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවට විශ්වාසනීය චෝදනා එල්ල වී ඇති අපරාධකරුවන්ට එරෙහිව සම්බාධක පනවන ලෙස සාමාජික රටවලට නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් දෙවලේ මහත්මිය ඉකුත් 27 වැනිදා පිටු 17 කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.