රාජ්‍ය ඇමැති ලක්ෂ්මන්ගේ කාමර ප්‍රශ්නය තවත් ඇදෙයි


(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිය රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ බාර ගැනීම තවදුරටත් කල්ගොස් ඇතැයි වාර්තා වේ.


රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවත්වාගෙන යන කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ 36 වැනි මහලේ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කඹඇදිල්ල හේතුවෙන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩ බාර නොගෙන සිටී.


ඔහු ඉකුත් 31 වැනිදා නව රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දුන් අතර, අමාත්‍ය කාර්යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩකඩ නොලැබීම නිසා ඔහු ඉකුත් දින ගණනාවේම මාතරට වී සිටි බව වාර්තා විය. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩකඩ ලබාදීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ද මැදිහත් වී සිටින නමුත්, මෙතෙක් එම ප්‍රශ්නය විසඳී නැතැයි වාර්තා වේ.


ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් 2 වැනිදා නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමට සූදානමින් සිටිය ද එහි නියෝජ්‍ය ඇමැති ධුරය හෙබවූ ඉරාන්  වික්‍රමරත්න මහතාගේ කාර්යාලය පවත්වාගෙන ගිය කොටසේ කාමර 9න් 6ක් කබීර් හෂීම් ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලය විසින් අත්පත් කර ගෙන තිබීම නිසා දිවුරුම් දීම පසුගිය සඳුදාට කල් දමා තිබිණි.


එහෙත් සඳුදා වන විටත් ප්‍රශ්නය විසඳී නොතිබූ නිසා රාජ්‍ය ඇමැතිවරයා මේ වනතෙක්ම සිය කාර්යාලයේ වැඩකටයුතු ආරම්භ කර නැත. රාජ්‍ය අමාත්‍ය කාර්යාලය, කබීර් හෂීම් මහතාගේ කාර්යාලය පවත්වාගෙන යන ස්ථානයෙන් බැහැරව එම ගොඩනැගිල්ලේම 20 වැනි මහලේ පවත්වාගෙන යාමට යෝජනා වී ඇතත්, 20 වන මහලේ දැනට පවත්වාගෙන යන පෞද්ගලික සමාගමක කාර්යාල ඉන් ඉවත් කර ගැනීමට තවත් මාස දෙකක පමණ කාලයක් ගතවන බවට දැනුම්දීම නිසා එම ස්ථානය ලබාගැනීම ද ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.