(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයයන් හා කාර්යයන් පවරා ගැසට් නිවේදන නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත ජනාධිපති ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත විශේෂ ලිපියකින් දැනුම්දෙනු ලැබ ඇතත් එසේ විෂයයන් වෙන්කර ගැසට් නිවේදන නිකුත් කර ඇත්තේ අමාත්‍යාංශ දෙකකින් පමණක් බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති මුදල් අමාත්‍යංශයෙන් හා ඩලස් අලහප්පෙරුම මහතා යටතේ ඇති අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයෙන් බව වාර්තාවේ.
මුදල් අමාත්‍යංශයෙ විෂයයන් හා කාර්යයන්වලින් කොටසක් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාට සහ සංවර්ධන බැංකු හා ණය යෝජනා ඇමැති ෂෙහාන් සේමසිංහ මහතාටත්, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ විෂයයන් හා කාර්යයන්වලින් කොටසක් අධ්‍යාපන සේවා ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට සහ තරුණ කටයුතු ඇමැති දුමින්ද දිසානායක මහතාටත් පවරා එම අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් විසින් ගැසට් නිවේදන නිකුත් කරනු ලැබ ඇත.
වත්මන් රජයේ රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනකු සිටින අතර ඉන් 4 දෙනකුට පමණක් ඒ අනුව විෂයයන් හා කාර්යයන් ගැසට් නිවේදන මඟින් පවරා ඇති බව වාර්තා වේ.
කැබිනට් මණ්ඩලයෙ සාමාජික නොවන රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයයන් හා කාර්යයන් පැවරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ඉකුත් දෙසැම්බර් මස 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණි.
ඒ අනුව එක් එක් රාජ්‍ය ඇමැතිවරුන්ට පැවරෙන විෂයයන් හා කාර්යයන් ඇතුළත් ලැයිස්තුවක් ද සහිතව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා සියලුම අමාත්‍යංශ ලේකම් ධුරයන් වෙත මෙම ලිපිය යවනු ලැබ ඇත.
එසේ වුවද රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යයන් පවරමින් අමාත්‍යංශ ලේකම්වරුන් පෙරේදා (03) වනවිට නිකුත් කර තිබුණේ ගැසට් නිවේදන හතරක් බව රජයේ මුද්‍රණාල ආරංචි මාර්ගවලින් ද දැන ගන්නට තිබිණි.