කිසියම් පුද්ගලයකු තමන් නිරතව සිටින වෘත්තියේ යෙදී සිටින කාලය වැඩිවෙත්ම ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු බවට පත්වෙයි. එවැනි පුද්ගලයින්ගෙන් රටටත්, සමාජයටත් ලැබෙන ප්‍රයෝජනය හා සේවාව අතිමහත්ය. එහෙත් දේශපාලකයා එසේ නොවේ. දේශපාලනයේ නිරතව සිටි කාලය වැඩිවෙත්ම ඔවුන්ගේ සොරකම්, දූෂණ හා මැර ක්‍රියාද වැඩිවෙයි. දශක ගණනාවක් තිස්සේ දේශපාලනයේ නිරතව සිටියද ඔහු මියයන තෙක්ම උත්සාහ ගන්නේ රටට, සමාජයට යමක් දීමට නොව තමාගේ සාක්කුවට යමක් දමා ගැනීමටය.
අප මේ කියන දේශපාලනඥයාද තම ජීවිත කාලයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් දේශපාලනයේ නිරතව සිටින්නෙකි. ඒ කාලය බොහෝ දුරට දශක හතරක් පමණ වේ. වත්මනෙහිද රට කරවන පාර්ශ්වයේ වගකිවයුතු තැනක සිටින දේශපාලකයා විසින් සිදුකර ඇති අක්‍රමිකතා හා බලය අයුතු ලෙස යෙදවීම පිළිබඳව ලියන්නට මෙවැනි ඉඩකඩක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.
කොළඹ උපන් මෙම දේශපාලනඥයා දේශපාලන කටයුතු සඳහා 1977 දී ආසන්න දිස්ත්‍රික්කයකට යන්නේය. දේශපාලනඥයාට ලැබෙන්නේ දිස්ත්‍රික්කයේ මහමුහුදට මායිම්ව පිහිටි වැඩිම පහත් බිම් ඇති ප්‍රදේශයකි. තමාට බලය ඇතිදා මෙන්ම බලය නැතිදාත් දේශපාලනඥයා කළේ එම ප්‍රදේශයේ පිහිටි වගුරු බිම් ගොඩකර තමාගේ නමට එහි අයිතිය පවරා ගැනීමය.
දේශපාලන බලය යොදා වගුරු බිම් ගොඩකර ඉතා ඉහළ මිලකට අලෙවි කරගත් දේශපාලනඥයා තම මඩිය තරකර ගත්තේය. වසර ගණනක් විපක්ෂයේ සිටීමට සිදුවීම නිසා තම නීති විරෝධී ව්‍යාපාරය මඳකට නතර කර දැමීමට දේශපාලනඥයාට සිදුවුවද යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව දේශපාලනඥයා තම මෙහෙයුම වැඩි වේගයකින් දැන් ආරම්භ කර තිබෙනු දක්නට ලැබෙයි.
මීට වසරකට පමණ පෙර ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ගබඩාවකට දිවෙන තෙල් නළයක් පුපුරා යාමෙන් එහි තෙල් පරිසරයට මුසුවීමෙන් වගුරු බිමක් වූ එම පරිසර කලාපයට දැඩි හානියක් සිදුවිය. විශේෂයෙන්ම අක්කර ගණනාවක කඩොලාන රක්ෂිතය තෙල් මුසුවීම නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය.
මත්ස්‍යයන් දහස් ගණනක්ද ප්‍රදේශය තුළ මැරී සිටිනු දක්නට ලැබිණි. මෙම සිද්ධිය වූයේ මෙම දේශපාලනඥයාගේ බල ප්‍රදේශය තුළය. පරිසර පද්ධතියට වූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් තෙල් සංස්ථාවෙන් රැගෙන යළි එම ප්‍රදේශයේ කඩොලාන වැවිය යුතු බවට පරිසරවේදීහු හඬ නැගූහ. තෙල් සංස්ථාව එම ඉල්ලීම් ඉටුකළේය. එහෙත් පරිසරය යළි නඟා සිටුවීම වෙනුවෙන් ලද විශාල වන්දි මුදල දේශපාලනඥයා සහ ඔහුගේ බත් බැලයන් විසින් ගසා කන ලද අතර එම ප්‍රදේශයේ පරිසර පද්ධතිය අදටත් ඇත්තේ විනාශවී ගිය පරිද්දෙනි. තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතියක නායකයකු මෙම දේශපාලනඥයාගේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ අතර එම සබඳතාවද මෙම මුදල ගසා කෑමට බොහෝ ප්‍රයෝජනවත් වූ බව පැවසේ.
යහපාලන රජය පත්වී මාස දෙක තුනක් ගතවනවිටම දේශපාලනඥයා තම බලය අයුතු ලෙස යොදවා පැවැති රජයෙන් සාදා නිම කරන ලද සංවර්ධන ව්‍යාපෘතියක් විනාශකර දැම්මේය. ඒ පුද්ගලික සමාගමක් විසින් ඉදිකරනු ලබන නව නිවාස යෝජනා ක්‍රමයකට අවශ්‍ය පාරක් ලබාදීම සඳහාය. මේ වෙනුවෙන් අදාළ සමාගමෙන් විශාල මුදලක් දේශපාලනඥයා ලබා ගත්තේය.
පසුගිය රජය සමයේදීත් එකල මැති ඇමැතිවරු විශාල මුදලක් පිල්ලි ගසා මෙම ව්‍යාපෘතිය අවසන් කළ අතර දේශපාලනඥයා විසින් එය කඩා දැමීමෙන් පසුව පැමිණි ජනතා විරෝධයත් සමග එම ව්‍යාපෘතිය වෙනස්කර යළි ආරම්භ කෙරිණි. ඒ සඳහාද මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වැයවිණි.
ඉඩම් බලහත්කාරයෙන් ඇල්ලීම පිළිබඳව නම්දරා සිටින මෙම දේශපාලනඥයාට කිසිදු ලජ්ජාවක් නොමැත. ජනතාව විසින් “හූ” කියා කිහිප තැනකින්ම දේශපාලනඥයා එළවා දැමුවේ ඉඩම් ඇල්ලීමට ගොස්ය. ප්‍රදේශයේ දමිළ ජනතාවට පාසලක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩමක් සකස් කිරීමට බව පවසා වගුරු බිමක් ගොඩකරන විට ජනතාව “හූ” තබා දේශපාලනඥයාට ප්‍රතිචාර දැක්වූහ. රජයට අයත් පහත් බිම් තම හෙන්චයියන් ලවා ගොඩකර තමන් සතු කරගෙන අධික මිලකට විකුණා දැමීම දේශපාලනඥයාගේ වෘත්තිය වී තිබේ.
තම බල ප්‍රදේශය තුළ පිහිටි රක්ෂිත අභය භූමියකට කසළ ගෙන ඒමට දේශපාලනඥයා විසින් පිඹුරුපත් සැකසුවේය. පරිසර පද්ධතීන් හා අභය භූමි පිළිබඳව හෝ කිසිම තැකීමක් නොකරන දේශපාලනඥයා එම ස්ථානවලට කසළ බැහැර කිරීමට ඉඩ ලබා දීමෙන් පමණක් සැලකිය යුතු මුදලක් උපයා ගනී.
ලංකාවේ ප්‍රකට කිරිපිටි සමාගමක් පිහිටි ස්ථානයකට නුදුරුව ඇති රජයේ ගොවිපොළක් පිහිටි අක්කර 15ක පමණ භූමියක් පුද්ගලික සමාගමකට ලබාදීමට ද දේශපාලනඥයා මේ දිනවල වෙර දරමින් සිටියි.
ගුවන් ගතවෙන ස්ථානයක පිහිටි ප්‍රවාහන බලය තමා සතුකර ගන්නට ද දේශපාලනඥයා උත්සාහ දරමින් සිටියි. ඒ නීති විරෝධී අයුරිනි. තම මැතිවරණ බල ප්‍රදේශයේ පමණක් නොව අනෙකුත් ස්ථානවලද දේශපාලනඥයාගේ මෙම මැර ක්‍රියා අඩුවකින් තොරව ක්‍රියාත්මක වෙන බවට එම සිදුවීම හොඳ උදාහරණයකි. තම නීති විරෝධී කාර්යයන් ඉටුකර ගැනීම සඳහා මැරයින් හා සහචරයින්ද මෙම දේශපාලනඥයාට නොඅඩුව සිටියි. වයසට ගියත් කාන්තාවන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන දේශපාලනඥයාගේ එම අංශයේ “පැටිකිරිය” පිළිබඳව රටපුරා විවිධ කථා පැතිරෙමින් තිබේ.
දේශපාලනඥයා නියෝජනය කරන්නේ ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයකි. ප්‍රදේශයේ කර්මාන්ත ශාලා බොහෝ ගණනකි. ඉන් ඉවත් කරන කසළ හා අප ද්‍රව්‍ය ප්‍රදේශයේ පරිසර පද්ධතිය විනාශ කරමින් එම ප්‍රදේශවලටම නිකුත් කරයි. මේ සඳහා කටයුතු කිරීමේ බලය දේශපාලනඥයාට ඇතත් ඔහු කරන්නේ කර්මාන්ත ශාලාවලින් මුදලක් ලබාගෙන පරිසර පද්ධතියට කසළ බැහැර කිරීමට අවසර ලබාදීමයි. දිස්ත්‍රික්කයේ අපිරිසුදුම හා ලෙඩ රෝග වැඩිම ප්‍රදේශය බවට පත් කරන්නට දේශපාලනඥයා ලබාදී ඇති සහයෝගය සුළු පටු නොවේ.
මේ මොන චෝදනා ඔහුට තිබුණත් දේශපාලනය තුළ ජයග්‍රාහී ලීලාවෙන් දශක ගණනාවක් සිටින්නට දේශපාලනඥයාට හැකියාව ලැබී තිබේ.
ආලවකයා