වරාය ජැටි අවුලදික් ගැස්සෙයි


(අජන්ත කුමාර අගලකඩ)  

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් සියයට 49ක් ඉන්දියාවේ සහ ජපානයේ සමාගම් දෙකකට ආයෝජනය සඳහා ලබාදීමේ රජයේ ස්ථාවරයේ වෙනසක් මෙතෙක් සිදුව නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් සියයට 51ක් වරාය අධිකාරිය සතුව තබාගෙන ඉතිරි සියයට 49 ලබා දෙන්නේ ආයෝජනය සඳහා මිස විකිණීමට නොවන බවද හෙතෙම සඳහන් කළේය.

  
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් සියයට 49ක් ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිතිවල දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර ඔවුහු සති අන්තයේ වෘත්තිය ක්‍රියාමාර්ගයකටද යොමු වීමට නියමිතව සිටියහ.  

මේ අතර වරායේ නැගෙනහිර පර්යන්තයේ සියයට 49ක කොටස් ඉන්දියාවේ සමාගමක් සමග එක්ව ලබාගැනීමට ජපාන සමාගමක්ද දැඩි උනන්දුවකින් පසුවන බව වාර්තා වේ.  


නැගෙනහිර පර්යන්තයේ සියයට 49ක කොටස් ඉන්දියාවේ හා ජපානයේ ආයෝජකයන් සඳහා ලබා දීමට අදාළ ගිවිසුමක්ද ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ අත්සන් කර ඇති බව රජය ඉකුත්දා ප්‍රකාශ කළේය.