වැඩි කළ බස් ගාස්තුව පහත හෙළන්න ඉල්ලීමක්


(උපුල් වික්‍රමසිංහ)  

කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති උපදෙස් අනුව බස්රථ සේවාව පවත්වාගෙන යාම සඳහා බස් ගාස්තු සියයට විස්සකින් ඉහළ දැමුව ද මේ වෙන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් බස් රථවල මගීන් ප්‍රවාහනය සිදුවෙන බවත් එබැවින් බස් ගාස්තු යළි සාමාන්‍ය තත්ත්වයට පහත හෙළිය යුතු බවත් මගීහු පවසති.  

පසුගිය වසරේ නොවැම්බර් මස සිට සියයට විස්සකින් පමණ බස් ගාස්තු සංශෝධනය කළ නිසා බස් ගමන් ගාස්තු සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව පවසන ඔවුහු එය තමන්ට දැරිය නොහැකි බව ද කියති.  
 අප මේ සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතාගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙන මාර්ගෝපදේශ අනුව බස්රථ ධාවනය සිදුවෙන බැවින් අද‌ාළ සියයට විස්සේ තාවකාලික බස් ගාස්තු සංශෝධනය දැනට වෙනස් කළ නොහැකි බවත් එම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළ පසු එය යළි සංශෝධනය කළ හැකි බවත්ය.  


පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ කොවිඩ් වසංගතය මධ්‍යයේ සෞඛය නිර්දේශ අනුව බස් මගී ප්‍රවාහනය සඳහා සියයට විස්සකින් බස් ගාස්තු වැඩි කරන්නැයි සිය සංගමය ඉල්ලා නොසිටි බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ වුවමනාවලට අද‌ාළ බස් ගාස්තු සංශෝධනය සිදු කළ බවත්ය.