විදුලිය බිල වැඩිකිරීමට ඇමැති අනුමැතිය නෑ


(දයාසීලි ලියනගේ) 

ලංකා විදුලිය බල මණ්ඩලයේ මේ වසරේ කෝටි 21000ක ණය මුදල පියවීම සඳහා විදුලිය බිල වැඩි කරන ලෙසට මණ්ඩලය කරන ලද යෝජනාව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිය බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ප්‍රතික්ෂේ‍ප කර තිබේ. 

විදුලිය පාරිභෝගිකයන්ගෙන් අයකරන ගාස්තුව ඒකකයකට 1.50කින් වැඩි කරන ලෙස මණ්‍ඩලය ඉල්ලා ඇත. 


විදුලිය බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 8500ට අමතරව ඛණිජ තෙල් සංස්ථාවට කෝටි 8300ක්ද පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීම වෙනුවෙන් කෝටි 4200ක මුදලක් ද ගෙවිය යුතුව ඇති බව ඇමැතිවරයා හා විදුලි බල මණ්ඩලය අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත. 


විදුලිය බිල වැඩි කරනවා වෙනුවට මේ තත්ත්වයට මණ්ඩලය පත්වීමට වගකිවයුත්තන් සොයා බලා ඔවුන් පිළිබඳව වහාම පියවර ගතයුතු බව මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. 


මණ්ඩලය මේ තරම් ණයවීමට වගකිව යුතු කවුදැයි මෙම සාකච්ඡාවේ දී විමසා ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ හිටපු ලේකම්වරයා ඒ පිළිබඳව වගකිව යුතු බවයි. 
විදුලිය බල මණ්ඩලය අර්බුදකාරී තත්ත්වයට පත් කිරීම පිළිබඳව වගකිවයුත්තන් සොයා බලා තරාතිරම නොබලා පියවර ගන්නා බව මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.