විපක්ෂ නායක ධුරයෙන් ඉවත්වීමට සම්බන්ධන්ට උතුරෙන් බලපෑම්


(නිශාන්ත කුමාර බණ්ඩාර)
දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරයෙන් වහාම ඉවත්විය යුතු බව දෙමළ දේශපාලන පක්ෂ කිහිපයකින් බලපෑම් එල්ල වෙයි.


 විපක්ෂ නායක සම්බන්ධන් මහතාගේ ක්‍රියාකලාපය එම දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ දෝෂදර්ශනයට ලක් වී ඇත.
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, දෙමළ මහජන පෙරමුණ හා ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායකයන් සම්බන්ධන් මහතාගේ ක්‍රියාකලාපය අනුමත නොකරන බව ප්‍රකාශ කර සිටියි.


දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පවසන්නේ දෙමළ ජාතීන්ගේ ඡන්දයෙන් පත්වූ සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ අයිතීන් දිනාදීමට ප්‍රමාණවත් ක්‍රියාකාරිත්වයක් නොදක්වන බවයි.


ආණ්ඩුවේ වරප්‍රසාද භූක්ති විඳිමින් ක්‍රියාකරන ඔහු උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුවට කරන බලපෑම් ප්‍රමාණවත් නොවන බව ආනන්ද සංගරී මහතා චෝදනා කරයි.


දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඔහු අනුගමනය කරන අතර වරප්‍රසාද භූක්ති විඳින නිසා ඔවුන් නායකත්වයට එරෙහිව ක්‍රියා නොකරන බවද සංගරී මහතා සඳහන් කරයි.


දෙමළ සන්ධානය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන්ද ඔවුන්ගේ ක්‍රියාකලාපය අනුමත නොකරන බවත් ප්‍රසිද්ධියේ ඒ බව ඔවුන් ප්‍රකාශ කිරීමට කැමැත්තක් නැතැයි ද ඔහු කීය.


දෙමළ ජනතාවගේ අයිතීන් දිනාදීමට ක්‍රියාකරන මන්ත්‍රීවරයකුට එම අවස්ථාව ලබාදී වහාම විපක්ෂ නායක ධුරයෙන් සම්බන්ධන් මහතා ඉවත් විය යුතු බවද ආනන්ද සංගරී මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.


මේ අතර දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පවසන්නේ දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකලාපය පිළිබඳ පැහැදීමක් නොමැති බවයි.


ඔවුන් දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළද ඔවුන්ගේ ගැටලුවලදී මග හැර යන තත්ත්වයක් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.


මේ අතර දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය කෙරෙහි උතුරේ දෙමළ ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටී ඇති බවයි.


මේ නිසා දෙමළ සන්ධානයේ නායකත්වයේ වෙනසක් අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළේය.


විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව උතුරේ දෙමළ ජනතාව තුළ මේ වනවිට තිබු ප්‍රසාදය බිඳ වැටී ඇතැයිද ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා පැවැසීය.