විපක්ෂයේ මන්ත්‍රීන් පහක් ආණ්ඩුවට


මන්ත්‍රීන් ගැනීමේ මෙහෙයුම හිටපු ඇමැති බැසිල් බාරගනියි

 

(අජන්ත කුමාර අගලකඩ)  

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබාදීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනකු ආණ්ඩුවට එක්වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.  


එම මන්ත්‍රීවරුන් 5 දෙනාගේ සහාය ලබා ගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් බාරගනු ලැබ ඇතැයි ද එම ආරංචිමාර්ග කියයි.

විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂයක මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද 20 වැනි සංශෝධනයට සහාය දෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා අතර සිටින බව ද පැවැසේ.  


ඉකුත් මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු මන්ත්‍රී ධුර 145ට අමතරව ආණ්ඩුවට සහාය දෙන පක්ෂවල මන්ත්‍රීවරුන් ද එකතු වූ විට ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී ධුර 150ක් හිමිව ඇත. එසේ වුවද මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත්වීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණන 149ක් වේ.  


යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට ආණ්ඩුවට විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ සහාය ලබාගැනීම අනිවාර්ය වේ. එම එක් මන්ත්‍රීවරයකු වෙනුවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනකුගේ පමණ සහාය ආණ්ඩුවට ලබාගැනීමේ මෙහෙයුම බැසිල් රාජපක්ෂ මහතා විසින් බාරගනු ලැබ ඇති බව වාර්තා වේ.  


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 145ක් ද ආණ්ඩුව සමග සිටින සෙසු පක්ෂ වන ඊ.පී.ඩී.පී. සංවිධානයට මන්ත්‍රී ධුර 2ක් ද අතාවුල්ලාගේ පක්ෂය, පිල්ලෙයාන්ගේ පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂවලට මන්ත්‍රී ආසන 1 බැගින් ද ඉකුත් මහ මැතිවරණයේ දී හිමිවිය.