සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම ජපානයට බිලියන පහක් ගෙවන්න වෙයි


(දයාසීලි ලියනගේ)  

මාලඹේ - කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට ගන්නා ලද තීරණය නිසා ජපානයේ ජයිකා ආයතනයට රුපියල් බිලියන 5 ක වන්දියක් ගෙවීමට රජයට සිදු වී ඇතැයි වාර්තා වේ.  


වසර 35 ක කාලයක් තුළ ගෙවන ආකාරයට ණය ආධාර පදනම මත මෙම ව්‍යාපෘතියට මුදල් ලබා ගැනීමට නියමිතව තිබූ අතර මේ වෙන විටත් බිලියන 3 ක පමණ මුදලක් වියදම් කර ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  

ශක්‍යතා අධ්‍යයන වාර්තාව සඳහා රුපියල් මිලියන 600 ක පමණ මුදලක් වැයකර ඇති අතර මීට අමතරව ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු, උපදේශන කටයුතු, කාර්යාල පවත්වාගෙන යාම ආදිය සඳහා මෙම මුදල වියදම් වී ඇතැයි වාර්තා වේ.  


 මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කිරීම නිසා ජයිකා ආයතනයට යම් වන්දියක් ගෙවීමට සිදුවෙන බවයි.  


ඒ මුදල් මෙතෙක් ගණන් බලා නැති බව ප්‍රකාශ කළ ඒ මහතා මේ ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට වරාය ඉදිකිරීමට වැය කළ මුදල මෙන් දෙගුණයක් වැය කිරීමට නියමිතව තිබූ බව ද කීය. අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවීම මත අද‌ාළ ව්‍යාපෘතිය අත්හිටුවීමට රජය තීරණය කර ඇති බවද ඔහු කීය.