සියලු පක්ෂ කැඳවා තීන්දුවක් ගන්නවා


මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා

අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ   

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මුහුණ දී තිබෙන ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට අනිද්දා (14) කැඳවා ඇතැයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.


මැතිවරණය පවත්වන බවට ශ්‍රේ‍ෂ්ඨාධිකරණයට කළ දැනුම් දීම අනුව, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.   


මේ අතර, පළාත් පාලන මැතිවරණයට දී ඇති මුදල් අවසන් වී ඇති බැවින්, තවත් රුපියල් කෝටි 30ක පමණ මුදලක් ඉල්ලා මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත අද හෙටම ලිපියක් යවන බව හෙතෙම කීවේය.

මැතිවරණයට රුපියල් කෝටි හැත්තෑ හතක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත මීට පෙර ලිපියක් යොමු කර ඇති බවත්, ඉන් රුපියල් කෝටි දහයක මුදලක් ලැබුණු බවත් නීතිඥ පුංචිහේවා මහතා කීවේය. 

 
එම මුදල් මේ වන විට අවසන් වී ඇති බැවින්, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ඉදිරි කටයුතු කර ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 30ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් යවන බවද හෙතෙම කීවේය.   


මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන විසි දෙවැනිදා ආරම්භ වන බවද සභාපතිවරයා සඳහන් කළේය.