​කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයන් රටින් පැනලා


පොලිසිය කියයි

නිමන්ති රණසිංහ   

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක පිහිනුම් තටාකයක පාවෙමින් තිබියදී සොයාගත් කොළඹ ජනප්‍රිය නිමි ඇඳුම් සාප්පු ජාලයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයින් රටින් පලාගිය බවට කරුණු හෙළිව ඇතැයි පොලීසිය පවසයි.

කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ 49 හැවිරිදි රොෂාන් වන්නිනායක මහතාට අයත් මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇත්තේ ඉකුත් (02) වැනිදා රාත්‍රියේ දීය.


එම මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ අදාළ නිවසට රැගෙන ආ බව කියන යුවළක් මේ වන විට විදෙස් ගතව ඇතැයි පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.  
ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් හතරක් අතුරුදන්ව ඇති අතර එම ක්‍රෙඩිට් කාඩ් භාවිත කරමින් ගුවන් ටිකට්පත් පහක් වෙන්කරගෙන ඇති බවත්, එමගින් ඉන්දුනීසියාව බලා පියාසර කිරීමට ආසන වෙන් කරවා ගෙන ඇති බවත් කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.   
එසේම ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරමින් කටුනායක ගුවන්තොටුපළ සාප්පු සංකීර්ණයේ දී රුපියල් ලක්ෂ පහක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට ද කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.   


මෙතෙක් කරන ලද විමර්ශනවලට අනුව මෙම සිද්ධියට අදාළව කාන්තාවක්ද සම්බන්ධ බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. එම කාන්තාව තවත් කිහිප දෙනෙකුගේ ආධාරයෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් ඉන්පසුව ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කරගනිමින් විදේශගත වන්නට ඇති බවටත් මේ වන විට සිදුකරන ලද විමර්ශනවලට අනුව පෙනී යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.   
මෙම කෝටිපති ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇත්තේ ඉකුත් 30 වැනිදා වන අතර එදින සවස 5.30ට පමණ ඔහු පදිංචිව සිටි වැල්ලම්පිටිය නිවසේ සිට සිය මෝටර් රථයෙන් පිටත්ව ගොස් ඇත්තේ ඔහුට අයත් බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසේ යතුරද රැගෙන බව පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත.   
මෙම සිද්ධියට අදාළව වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මියගිය ව්‍යාපාරිකයාගේ සහෝදරිය විසිනි.  


තම සහෝදරයා අදාළ දිනයේ රාත්‍රි ආහාරයට නිවසට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව විමසීම සඳහා ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා ගත්තත් ඔහු පිළිතුරු ලබා නොදුන් බවත්, පසුව රාත්‍රි 7.29ට පමණ ඇමතුමක් ලබා දුන් සහෝදරයා, ඔහුට ඇමතුම් ලබා ගත්තේ ඇයි දැයි විමසා ඇතැයි ද පැමිණිලිකාරිය පොලිසියට පවසා ඇත.   
ඉන් පසුව දිගින් දිගටම තම සහෝදරයාගේ ජංගම දුරකතනය අක්‍රිය වී තිබීම හේතුවෙන් පොලිසියට පැමිණිලි කර ඇති ව්‍යාපාරිකයාගේ සහෝදරිය පැලවත්තේ පිහිටි ඔහුගේ නිවසට ගොස් බැලීමේදී සිරුර හමුවී ඇතැයි වාර්තා වෙයි. 


බත්තරමුල්ල නිවසේ පිහිටි පිහිනුම් තටාකයේ පාවෙමින් තිබූ ව්‍යාපාරිකයාගේ සිරුර නිරුවතින් තිබී ඇති අතර, එය බොහෝ සෙයින් ඉදිමී තිබූ බවද පොලිසිය සඳහන් කරයි.   
පිහිනුම් තටාකය ආසන්නයේ ලේ පැල්ලම් කිහිපයක් ද තිබී සොයා ගෙන ඇති බවත් එමගින් ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බවට සැක පහළ වී ඇති බවත් මූලික විමර්ශනවලට අනුව හෙළිවී ඇතැයි පොලීසිය පවසයි. එම විමර්ශනවලට අනුව ඝාතකයින් ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඝාතනය කර අනතුරුව සිරුර ඇදගෙන විත් පිහිනුම් තටාකයට ඇද දමා ඇති බවටත් සැක කරන බව පොලිසිය සඳහන් කරයි.