“‍සයුරි”‍ අරන් කෝටි දෙකක පොල්ලක් තියලා විගණන වාර්තාවක් කියයි


නිමන්ති රණසිංහ

ඔළුවිල් ධීවර වරායේ කැණීම් කටයුතු සඳහා යොදවාගත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ “සයුරි”‍ යාත්‍රාව වෙනුවෙන් වරාය අධිකාරිය රුපියල් දෙකෝටි හතළිස් අට ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම යාත්‍රාව එම කැණීම් කටයුතු සඳහා යොදවා ගෙන ඇතැයි පැවසෙන්නේ 2016 වර්ෂයේ දෙසැම්බර් 16 වැනිදා සිට 2017 වර්ෂයේ මාර්තු 9 වැනිදා දක්වාය.   


මේ වෙනුවෙන් ගිවිසුමක්ද අත්සන් කර නොතිබූ බව පවසන විගණන අංශ වරාය අධිකාරියෙන් සංස්ථාවට ලැබිය යුතු එම මුදල මේ දක්වා අයකර ගැනීමට නොහැකිව ඇතැයි සඳහන් කළේය.   


මේ අතර කමිටු තීරණය අනුව පෙර ගෙවුම් ලෙස ගෙවා තිබුණු රුපියල් තුන් කෝටියක වැඩි මුදලක් වර්ෂ කිහිපයක සිටම අය කරගෙන නොතිබූ අතර ඒ පිළිබඳව කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක්ද ගෙන නොතිබූ බවද විගණන කාර්යාලය පවසයි.   


මේ තොරතුරු සඳහන්ව ඇත්තේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.