අවුරුදු මිලියන 65 කට පෙර ඩයිනෝසරයන් මිහිමත රජ කරද්දී - පෘථිවිය හරිම සුන්දර තැනක් විය. ජීවයෙන් පොහොසත් තැනක් විය. එහෙත් කිලෝමීටර් 9 ක් පළල ගල් කැබැල්ලක් ඒ සියල්ල වෙනස් කළේය. ඒ ගල් කැබැල්ල යෝධ ග්‍රහකයකි. න්‍යෂ්ටික අවි 10,000 ක් එකවර පුපුරා ගියා මෙන් මහා ප්‍රබල පිපිරීමක් ඇති කරමින්, මේ ග්රහකය පෘථිවියේ හැපුණේය. ඒ ප්‍රබල පිපිරීමත් සමග ටොන් ට්‍රිලියන ගණනක් වැලි අහස වසා ගත්තේ - පෘථිවිය පොරෝනාවකින් ආවරණය කළාක් මෙනි. ඉන්පසු වසර දහස් ගණනක් යනතුරු, පෘථිවියට හිරු එළිය වැටුණේ නැත. ඩයිනෝසරයෝ සදහටම ලොවෙන් තුරන් වූහ. එදා සිදුවුණු දේ යළි දවසක සිදුවිය හැකිය. ඒත් ඒ කවදාද?
මෙය වසර ගණනක් තිස්සේ අපට බිය ගෙන දුන් කරුණක් විය. ඒත් දැන් ඒ බිය දෙගුණ තෙගුණ කරමින් තාරකා විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ, හරියටම තව අවුරුදු 7 කින් අවුරුදු මිලියන 65 කට පෙර සිදුවූ ආකාරයේ විපත්තියකට පෘථිවිය මුහුණ දෙනු ඇති බවය. එසේ නම් එදා මිහිමත රජ කළ ඩයිනෝසරයන්ගේ විනාශය සිදුවූවාක් මෙන්, තව අවුරුදු 7 කින් අද පෘථිවියේ රජ කරන අපගේ විනාශය සිදුවේවි ද?
පෘථිවියේ හැපෙනු ඇතැයි පැවැසෙන්නේ , “2024 වයිආර්4” යන නමින් තාරකා විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇති ග්රහකයයි. විද්‍යාඥයන් මෙම ග්රහකය හඳුනාගැනීම සිදුකළේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේ ය. ඇමෙරිකාවේ නාසා ආයතනය පමණක් නොව ලොව සෙසු අභ්‍යවකාශ කටයුතු හා සම්බන්ධ සියලුම ආයතන මේ වනවිට “2024 වයිආර්4” ග්රහකය ගැන අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. අවුරුදු 7 කින් - එනම් 2032 වසරේ දී කුමකින් කුමක් වේවිදැයි යන්න ගැන පිළිබඳ බිය පළ කර තිබේ. “2024 වයිආර්4” ග්‍රහකයෙන් පෘථිවියට එල්ල වන තර්ජනය සුළුපටු එකක් නොවන බව ඒ අනුව පැහැදිලිය.
|
![]() |
විද්‍යාඥයන් පවසන්නේ ලන්ඩන් අගනුවර තරම් විශාල භූමි ප්‍රදේශයක් සුන්නද්ධූලි කිරීමට“2024 වයිආර්4” ග්රහකයට හැකිවනු ඇති බවය. ලන්ඩන් අගනුවර ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1,572 කි . “2024 වයිආර්4” ග්රහකය පෘථිවියේ හැපුණොත් - විනාශයක් සිදුවනු ඇති නමුත්, එම විනාශය අවුරුදු මිලියන 65 කට පෙර පෘථිවියේ හැපුණු යෝධ ග්රහකය සිදුකළ ගෝලීය විනාශය තරම් නොවනු ඇතැයි ද විද්‍යාඥයන් පැවැසීම අස්වැසිල්ලකි.
විද්‍යාඥයන්ට අනුව “2024 වයිආර්4” ග්රහකය, නගරයක් වැනසිය හැකි ආකාරයේ එකකි. කෙසේ වුවත්, “2024 වයිආර්4” ග්‍රහකයෙන් වන විනාශය සුළුපටු එකක් නොවනු ඇත. ග්රහකය හැපුණොත් ලක්ෂ ගණනක් මියයනු ඇත. නිවාස ගොඩනැගිලි ඇතුළු කිලෝමීටර් ගණනක භූමි ප්‍රදේශයක් අළු දූවිලි බවට පත් වනු ඇත.
ග්රහක යනු විශ්වයේ පාවෙන ප්‍රමාණයෙන් විශාල ග්‍රහලෝක සහ චන්ද්‍රයන්ගේ කැබලිය. මේවා මෙසේ කැබැලි වී ඇත්තේ විශ්වය ආරම්භයේ දී සිදුවුණු ඝට්ටන සහ පිපිරීම් නිසාය. අප පෘථිවියේ හැපී අනතුරක් විය හැකි යෝධ ග්රහක 8,000 ක් පමණ පෘථිවි තාරකා විද්‍යාඥයන් විසින් මේ වන විට හඳුනාගෙන තිබේ. ග්රහක බොහොමයක් ඇත්තේ ග්රහක වළල්ලේය. මෙම ග්රහක වළල්ල ඇත්තේ අඟහරු ග්‍රහයා සහ බ්‍රහස්පති ග්‍රහයා අතරය. සමහර අයිස්වලින් තැනුණු ග්රහක නෙප්චූන් ග්‍රහයාට ඔබ්බෙන් පාවෙමින් පවතී. කිලෝ මීටරයකට වඩා විශාල ග්රහක මිලියනයක් ද, කිලෝමීටර් 100 කට වඩා විශාල ග්රහක 200 ක් ද විද්‍යාඥයන් විසින් හඳුනාගෙන අවසන්ය. කෙසේ නමුත් පෘථිවියේ හැපීමට ගමන් මග වැටී ඇති “2024 වයිආර්4” ග්රහකය ගැන විද්‍යාඥයන් මීට පෙර දැන සිටියේ නැත. එය ඔවුන් පුදුම කිරීමට සමත් විය.
“2024 වයිආර්4” ග්රහකය හැපෙන්නේ පෘථිවියේ කොතැනදැයි යන්න සම්බන්ධයෙන් පසුගිය සති කීපය තිස්සේ විද්‍යාඥයෝ ගණනය කරන්නට වූහ. පෘථිවියේ භ්‍රමණය හේතුවෙන් එම ස්ථානය සියයට 100 ක් නිවැරදිව දැනගත හැකි වන්නේ - ග්රහකය පෘථිවියට ළං වී, පෘථිවි ගුරුත්ව බලයට හසුවී, පෘථිවි වායු ගෝලය පසාරු කරගෙන පහළට එද්දීය. 2032 වසරේ දෙසැම්බරයේ “2024 වයිආර්4” ග්රහකය පෘථිවියේ හැපෙනවා නම් එය හැපෙන්නේ - මෙන්න මේ කලාපයේ යැයි කීමට ඇමෙරිකාවේ නාසා ආයතනයේ මූල්‍ය අනුග්‍රහය ලැබෙන කැටලිනා ස්කයි සර්වේ ව්‍යාපෘතියට සම්බන්ධ ඉන්ජිනේරුවකු වන ආචාර්ය ඩේවිඩ් රැන්කින් සමත් වී සිටී. මෙම සටහන සමග පළ කෙරෙන එක් ඡායාරූපයකින් පෙන්නුම් කර ඇත්තේ, “2024 වයිආර්4” ග්රහකය පෘථිවියේ හැපීමට ඉඩ ඇති කලාපයයි. එම කලාපය වැටී ඇත්තේ දකුණු ඇමෙරිකාවේ සිට පැසිෆික් සාගරය හරහා උපසහරා අප්‍රිකාව පසු කර ආසියාව දක්වාය.
තවත් පැහැදිලි කළොත්, “2024 වයිආර්4” ග්රහකය වැටී ඇති කලාපය අධික ජනගහනයක් වෙසෙන දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නගරය සහ චීනයේ හයිනාන් දූපත ද ඇතුළත් වෙයි. චෙන්නායි අවදානමට ලක් වන්නේ නම් - ඊට පහළින් පිහිටන අපේ පුංචි දූපතත් අනිවාර්යයෙන් ම එහි බලපෑමට ලක් වනු ඇත. ග්රහකය හැපීමේ අවදානමක් ඇති කලාපයට අයත් සෙසු රටවල් වන්නේ පාකිස්තානය, බංග්ලාදේශය, ඉතියෝපියාව, සුඩානය, නයිජීරියාව, වෙනිසියුලාව, කොලොම්බියාව සහ ඉක්වදෝරයයි. ග්රහකය ගැටීමේ දී ඇතිවන පිපිරුම් තරංග කිලෝමීටර් 180 කට වැඩි දුරකට විහිදෙනු ඇතැයි ද ගණනය කර තිබේ.
ගණනය කිරීම් අනුව, “2024 වයිආර්4” ග්රහකය පෘථිවියේ හැපෙනු ඇත්තේ 2032 දෙසැම්බර් 22 වැනිදාය. නාසා ආයතනයේ ඇස්තමේන්තු අනුව ග්රහකය පෘථිවියේ හැපීමට ඇති සම්භාවිතාව 43 ට 1 කි. පෘථිවියේ හැපීමේ ප්‍රතිශතය සියයට 2.3 කි. ඒ අනුව, පෘථිවියේ වාසනාවට ග්රහකය පෘථිවිය මගහැර යෑමට බොහෝ දුරට ඉඩ ඇත. ඒත් අවාසනාවකට එය එසේ නොවීමට ද ඉඩ ඇත. පෘථිවියේ හැපීමට අදාළව සියයට එකකට වඩා සම්භාවිතාවක් ඇති ග්රහක විද්‍යාඥයන් විසින් වර්ගීකරණය කර ඇත. ඒ, ටොරිනෝ පරිමාණයෙනි. මෙය අන්තරාය මැනීමේ පරිමාණයකි. ඒ අනුව “2024 වයිආර්4” ග්රහකය මෙම වර්ගීකරණයට අනුව අන්තරායකාරී ග්‍රහකයකි.
ඊට අමතරව පෘථිවියට අන්තරායකාරී ග්රහකයක් ලෙස සැලකෙන තව එක් ග්රහකයක් ඇත. ඒ 99942 ඇපොසිස් ග්රහකයයි.
“2024 වයිආර්4” ග්‍රහකයේ විෂ්කම්භය මීටර් 90 කි. එනම්, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ලිබර්ටි ප්‍රතිමාව තරම්ය. ග්රහකය ඇදී එන්නේ පැයට කිලෝ මීටර් 46,800 ක වේගයකිනි. ග්රහකය යම් හෙයකින් පෘථිවියේ හැපුණොත්, එය වනු ඇත්තේ ටී.එන්.ටී. පුපුරන ද්‍රව්‍යය මෙගා ටොන් අටක් පුපුරා හැරි ස්වරූපයකිනි.
එය දෙවැනි ලෝක යුද්ධයේ දී ඇමෙරිකාව ජපානයේ හිරෝෂිමා නගරයට දැමූ පරමාණු බෝම්බය මෙන් 500 ගුණයකි. එසේ නම්, ග්රහකය අපගේ අවාසනාවට චෙන්නායි ප්‍රාන්තයට පතිත වුවහොත්, එය අප පුංචි දූපතේ ද අවසානය සලකුණු කිරීමට හේතුවෙනු නිසැකය.
කලින් පැවැසූ ආකාරයට, විශ්වයේ පාවෙමින් ගමන් කරන ග්රහක බොහොමයකි. වාර්ෂිකව, යෝධ ග්රහක පෘථිවිය අසලින් යයි. මේවා “නියෝස්” එසේත් නැතිනම් “නියර් අර්ත් ඔබ්ජෙක්ට්ස්” ලෙස විද්‍යාඥයන් වර්ගීකරණය කර තිබේ. පෘථිවිය හරහා ගමන් මග වැටී ඇති “2024 වයිආර්4” ග්රහකය සොයාගැනීමට සමත් වූයේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායමකි.
දැන් මේ මොහොත වනවිට පෘථිවියට තර්ජනයක් එල්ල කිරීමට හේතු වියහැකි “2024 වයිආර්4” ග්රහකය ගැන වැඩි විස්තර සෙවීමට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ ඔවුන් සතුව ඇති අභ්‍යවකාශයේ රැඳවූ ප්රබලතම දුරේක්ෂය භාවිතයට ගනිමින් සිටිති. ඒ - ජේම්ස් වෙබ් දුරේක්ෂයයි.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි