අලුත් අවුරුදු පලාපල


2025 වර්ෂය විශේෂ වර්ෂයක් ලෙස ජ්‍යොතිෂ විද්‍යාවේ හඳුන්වා දෙන අතර  2025 මාර්තු මස 29 වන දින වසර 30 කට පසුව සිදුවූ සෙනසුරු ග්‍රහයාගේ සුවිශේෂී ග්‍රහ මාරුව මෙන්ම සූර්ය මාසයෙන් පසු තවත්  ග්‍රහ මාරුවීම් කිහිපයක් සිදුවීමට නියමිතය.  ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව අනුව ලංකාව අයිති වන්නේ කුම්භ රාශියට වන අතර ලංකාවට සූර්ය වර්ෂය ආරම්භ වීමේදී කුම්භ ලග්නය පවතින්නේ කේන්ද්‍රස්ථාන ගතවය. කේන්ද්‍රස්ථාන ගතව ඇත්තේ දකුණු දිශාවේ ස්ථාවර තැනකය. මෙම ස්ථාවර අවස්ථාවේදී ගන්නා තීන්දු බොහෝ කාලයක් පවතී. පෙරළිකාර නවීකාරක රැඩිකල් තීරණ වෙනස් වීම් අපේක්ෂා කළ හැකි ඇතැම් දේවල් ස්ථාවරව යන දේවල් වේ. නමුත් එවැනි තීන්දු ගැනීම ඉතාම දුෂ්කර බව පෙන්නුම් කරයි.  ලංකා කේන්දරයේ යුරේනස් බලවත් වන්නේ ලංකාවේ කේන්දරයේ විපක්ෂයේ තැනය. 

ලෝකායන නක්ෂත්‍රය අනුව දසවැන්නෙන් පෙන්වනුයේ ආණ්ඩුවය. හතර වැන්න යනු විපක්ෂයයි. ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක බලයක් තිබුණත් ඔවුන්ට අත්තනෝමතිකව බලය තිබෙන පළියට දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ගතහොත් ඔවුන් අසාර්ථක වෙනවා විතරක් නෙමෙයි ලෝක අපවාදයටය පත්වනු ඇත.  නමුත් තමන්ගේ මතයට පරිබාහිර කොටස් එකතු කරගෙන  ජාතික සම්මුතියක් හැටියට මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළොත් ආණ්ඩුවේ පැවැත්ම තහවුරු වනු ඇත. විපක්ෂ දුබල කරගෙන විප්ලවවාදී අදහස් තිබෙන රැඩිකල් අදහස් තිබෙන අලුත් බලවේග එළියට මතුවෙන කාලයකි.  ඒ වගේම නෙප්චුන් ග්‍රහයා පිහිටන්නේ දෙවැන්නේ, මෙතනදී රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ තරමක් ප්‍රවේශම් විය යුතුය. දූෂිත සහ පරිභෝජනයට නුසුදුසු ආහාර නිසා  බෝවන විශාල රෝග ප්‍රමාණයක් පැතිරීමේ හැකියාව ඇත. 

ඒ වගේම ආහාර හිඟවීම්වලට යම් ඉඩකඩක් ද ඇත. ඒවා කල්තබා වළක්වා ගැනීමට පියවර ගැනීම වැදගත් වනු ඇත. සමස්තයක් ලෙස ගතහොත් 2025 සූර්ය වර්ෂය ලංකාව විප්ලවකාරී පෙරළිකාරී ප්‍රතිසංස්කරණ සහ ආන්දෝලනාත්මක මතභේදකාරී සිදුවීම් බහුල වන සූර්ය වර්ෂයක් ලෙස හැඳින්විය හැකිය. ග්‍රහයින් නිසා කිසිවෙකුටත්  නරකක් සිදු වන්නේ නැත. ග්‍රහයන් යනු අපේ ජීවිතේ ඉදිරියට තියෙන ගමන් මාර්ග පෙන්වන සංඥා දර්ශක, එහෙම නැත්නම් මග සලකුණු පමණකි. කොහොම නමුත්  මේ වසර සියලු දෙනාට යහපත් ප්‍රතිඵල අත්පත් කරගත හැකි සූර්ය වර්ෂයක් වන අතර, පසුගිය වසරට වඩා බලාපොරොත්තු සහ යම් අපේක්ෂාවන් පෙරදැරි කරගනිමින් කටයුතු කිරීමේ  හැකියාව ලැබෙන වසරකි. ජීවිතයේ කෙතරම් අභියෝග ඇති වුවත්, තම තමන්ගේ ග්‍රහචාරය අනුව ඒ බල දුර්වලතා හඳුනාගෙන සියලුම දෙනාට ජය ගැනීමේ වාසනාව හැකියාව මේ සූර්ය වර්ෂයේ උදා වනු ඇත.

ටොලමියානු ජ්‍යෝතීෂවේදී : කේ. සී. ජේ. රත්නායක


මේෂ

  • බොහෝ අංශයන්ගෙන් බලවත් වීමක්

සූර්ය වර්ෂය ආරම්භ වීමත් සමග මේෂ ලග්න හිමියාගේ  කේන්දරය කාලෙකට පසුව බොහෝ අංශයන් ගෙන් බලවත් වීමක් පෙන්නුම් කරන අතර, එයට ප්‍රධාන හේතුව වන්නේ - විකල්ප පීඩා ගමනක සිටි රාහු ග්‍රහයා බලවත්ම ස්ථානය වූ කේන්දරේ එකොළොස් වැන්නට පිවිසීමයි. 

රාහු ග්‍රහයා එකොළොස් වැන්නට පිවිසීම නිසා විශේෂයෙන් රැකියාව, වෘත්තීය කටයුතු, අධ්‍යාපනය, සමාජ, දේශපාලන කටයුතු සහ තමන් කරන ඕනෑම දෙයක හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට මේ සූර්ය වර්ෂයේ වාසනාව උදා වේ. ඒ වගේම මේෂ ලග්න හිමියාට පසුගිය කාලය තුළ හිමි නොවූ  සමාජ තත්ත්වයන් ලැබේ.  එකොළොස් වැන්නේ රාහු  ඊසාන දිසාවේ සහ උතුරු දිසාවේ බලවත් වීම නිසා ඕනෑම බාධකයක් මැඩගෙන යාමට අවස්ථාව හිමි වන අතර, මේ ලැබීම ඉතාම භාග්‍යවත් අවස්ථාවකි.  

අලුත් රැකියා ව්‍යාපාර ආරම්භ කිරීමටත් ආරම්භ කර ඇති ව්‍යාපාරයන් හි වැඩි දියුණුවක් අපේක්ෂා කරන අයටත් මෙය ඉතා සුබ පිහිටීමකි. ඒ වගේම ගුරු ග්‍රහයා  මේෂ ලග්න හිමියාගේ කේන්දරේ තුන්වැන්නේ ගිනිකොන සහ දකුණු දිශාවේ අතරමැද තීරුවට පැමිණීම එතරම් යහපත් නොවන අතර  ශාරීරික වශයෙන් සෞඛ්‍ය තරමක් පිරිහීමේ තත්ත්වයකට පැමිණිය හැකිය. විදේශගත වීමට හෝ විදෙස්  අධ්‍යාපනය ලැබීමට උත්සාහ කරන මේෂ ලග්න හිමියාට ඒ අවස්ථාවන් උදාවනු ඇත. 

විශේෂයෙන් ආහාරපාන ගැනීමේ දී මෙන්ම ද්වීපාර්ශ්වික ගනුදෙනුවල දී ඉතා ප්‍රවේසම් විය යුතු අතර,  යුග දිවියේ ද ඉවසීමත්, සංයමයකින් යුතුව කටයුතු කිරීමත් යෝග්‍ය වනු ඇත. ඒ වගේම බැංකු ණය සඳහා ඇපවීම්  සම්බන්ධයෙන් ද මේෂ ලග්න හිමියන් බොහොම කල්පනාකාරීව කටයුතු කළ යුතුය. 2025 වසරේ අග භාගය වන විට එනම්, 2026 ලබද්දී  මේෂ ලග්න හිමියා ගේ කේන්දරේ වඩා බලවත් තත්ත්වයට පත්වන අතර, නිවාස ගේ දොර ඉඩකඩම් මිලට ගැනීමට හෝ විකිණීමට හෝ අපේක්ෂා කරන මේෂ ලග්න හිමියන්ට විස්සයි විසි පහ වසරේ අවසානයේ දී ඒවා කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.


වෘෂභ

  • විදෙස් මුදල් ඉපයීමේ වාසනාව 

2025 සූර්ය වර්ෂය ආරම්භ වීමේ දී සහ මේ වසර ගෙවී යාමේ සමස්ත කාල වකවානුව තුළම වෘෂභ ලග්න හිමියාට අඛණ්ඩව බාධාවන් ගෙන් තොරව සුබදායක ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව ඇත. එයට ප්‍රධානම හේතුව වන්නේ වෘෂභ ලග්න හිමියාගේ කේන්දරයේ දෙවන්නේ ගුරු ග්‍රහයා ගේ ගමන්කිරීමේ  වාසිදායක තත්ත්වයයි.  

එම වාසිදායක තත්ත්වය අංශ කිහිපයකට බෙදෙන අතර යුග ජීවිතය සම්බන්ධයෙනුත් ස්ථාවර ධනය වැය වීම සම්බන්ධයෙනුත්, උසස් අධ්‍යාපනය සම්බන්ධයෙනුත් ඒ වගේම ද්වීපාර්ශ්වීය ගනුදෙනුවල දීත් වෘෂභ  ලග්න හිමියාට පෙර නොවූ විරූ උසස් තත්ත්වයක් අත්පත් වේ. දේශපාලන ක්ෂේත්‍රය, ක්‍රීඩා, ව්‍යාපාරික ක්ෂේත්‍රයන්වල තරගකාරී ලෙස කටයුතු කරන සියලුම වෘෂභ ලග්න හිමියන්ට මෙය ඉතාම කදිම අවස්ථාවකි. 

වෙනදාට වඩා ජනකාන්ත භාවයක් ජන ආකර්ෂණයක් ලැබේ. ඒ  වගේම විදේශගත රැකියාවක, විදේශ මුදල් ඉපයීමට බලාපොරොත්තුවෙන් සිටියා නම්  විදේශගත වන්නටම අවශ්‍ය වන්නේ නැහැ. ලංකාව තුළ සිටියදීම ඒ දැනුම සහ විදෙස් මුදල් ඉපයීමේ වාසනාව උදාවනු ඇත. 

උසස් අධ්‍යාපනය ලබන වෘෂභ ලග්න හිමියන්ට ලංකාව තුළත් ලංකාවෙන් පිටතත් අධ්‍යාපනය ලැබීමේ වරම් වාසනාව වේ. සෞඛ්‍යය ගැන කතා කිරීමේදී වෘෂභ ලග්න හිමියාට හිස ආශ්‍රිත රෝග -  ඉරුවාරදය, හිස කැක්කුම වැනි රෝග හටගැනීමේ හැකියාව ඇති අතර, වෛද්‍ය ප්‍රතිකාරවලට ඉතාම ඉක්මනින් යොමුවීම වඩාත් යෝග්‍ය වේ.  ඒ වගේම නිදි වර්ජිතව කරන රැකියා කරනව නම් මේ කාලසීමාවේ තරමක් ප්‍රවේශම් විය යුතුයි. නිදිවැරීම නිසා විවිධ රෝගාබාධවලට ගොදුරු වීමේ හැකියාව වගේම කල්ගත වූ යටපත් වූ රෝගාබාධ නැවත ඉස්මතු වීමටත් හැකියාව ඇත.


මිථුන

  • බලවත් පුද්ගලයින්ගේ ඇසුර

2025 සූර්ය වර්ෂය මිථුන ලග්න හිමියන්ට පැමිණෙන්නේ පෙර නොවූ විරූ තරමක්  අභියෝගාත්මක තරමක ජයග්‍රාහී අවස්ථාවකි. විශේෂයෙන්ම ඔවුන්ගේ රැකියා වෘත්තීය සම්බන්ධව බෙහෙවින්ම ප්‍රවේශම් විය යුතු කාලයකි. එම නිසා කිසියම් රැකියා ක්ෂේත්‍රයක ඔබ නිරතව සිටී නම් එම ක්ෂේත්‍රයේම ඉතිරි වසරක කාලය ගත කිරීම ඔවුන්ට හැම අතින්ම සුබදායක වනු ඇත.  

රැකියා මාරු කිරීම, ස්ථාන මාරු,  පීඩාකාරී තත්ත්වයක් උත්සන්න විය හැකිය. ඔබට පැමිණිය හැකි ඕනෑම අභියෝගයක් ජයගත හැක්කේ ඔබ  දැන් සිටිනා තත්ත්වයේම සිටියහොත් පමණි.  දුර දිග නොබලා හදිසි විදේශගතවීම මෙවැනි අවස්ථාවක එතරම්  සුබදායක වන්නේ නැත. ඔබේ කේන්දරේ සෙනසුරු සහ නෙප්චුන් යන ග්‍රහයින් දෙන්නා දස වැන්නේ බලවත් වීමත් සමග  සුළු පරිමාණ හෝ මධ්‍ය පරිමාණයෙන් තමාගේම ව්‍යාපාර කරන මිථුන ලග්න හිමියන්ට දිගු කාලයක් පවත්වා ගෙන යාමේ ව්‍යවසායකත්වයක් ගොඩනඟාගැනීමේ හැකියාව පවතී.  ඒ වගේම නොසිතූ ආකාරයේ රැකියා උසස්වීමක් හෝ රැකියාවේ ස්ථිර භාවයක් ලැබීමට මෙය ඉතාමත් සුවිශේෂී අවස්ථාවකි.  අනිත් හැමෝටම වඩා කැපීපෙනෙන නිර්මාණශීලී  හැකියාවන් ඉස්මතු වී පෙනෙන කාලයකි.  තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් ඒ සඳහාත් මේ කාලසීමාව ඉතාම හොඳ කාල සීමාවකි.  ක්‍රීඩාව, දේශපාලනය, රාජ්‍ය පරිපාලනයට, ආරක්ෂක අංශ හා සම්බන්ධ වැනි ක්ෂේත්‍රවල නියැලී සිටින අයට ද වරප්‍රසාද වැඩි වේ. බලවත් පුද්ගලයින්ගේ ඇසුර ලැබෙන අතර, ඒ අයගෙන්  බොහෝ උදව් උපකාර ලැබෙනු ඇත. විශේෂයෙන් සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර, දිගු කාලීනව අක්ෂි සම්බන්ධ රෝගවලින් පෙළුණ මිථුන ලග්න හිමියන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය.  


කටක

  • අධ්‍යාපනයට තත්ත්වය ඉතාම බලවත්

2025 සූර්ය වර්ෂය කටක ලග්න හිමියන්ට එළඹෙන්නේ අභියෝගාත්මක තත්ත්වයකි. ඔවුන්ගේ කේන්දරයේ වයඹ දිශාව හෙවත් නම වැන්න සෙනසුරු ග්‍රහයාගෙන් බලවත් වීම බොහෝ ජයග්‍රහණයන්ට මගපාදනු ඇත.  අධ්‍යාපනයට තත්ත්වය ඉතාම බලවත් වේ.   අධ්‍යාපනික සහ ආධ්‍යාත්මික අංශයෙන් ඉදිරියට යන්නට උත්සාහ කරන කටක ලග්න හිමියන්ට ද මෙය හොඳම අවස්ථාවකි. 

උසස් අධ්‍යාපන සම්බන්ධයෙන්  විදේශ ශිෂ්‍යත්ව අපේක්ෂා කරමින් සිටියා නම් විදේශ රටවල්වල පශ්චාත් උපාධි සඳහා යාමට අවස්ථාව හිමි වේ.  කටක ලග්න හිමියාගේ කේන්දරයේ රාහු  අටවැන්නේ ගමන් කිරීම සමග  අනපේක්ෂිත පරිදි රැකියා අවස්ථාව ලැබීම්, රැකියා උසස් වීම් ලැබීම් වාසනාව ඇත. ඒ වගේම තමන්ට ලැබිය යුතු පරම්පරාගත දේපලක් තිබුණා නම්, ඒ දේවල් වලට උරුමකම් කීමට  ප්‍රමාද වූවා නම්, ඒ දේවල් ලැබීමේ භාග්‍යය උදා වනු ඇත. 

අනපේක්ෂිත ලැබීම්, ආහාර ගැනීමේ දී  විෂ වර්ග වලින් හානි ඇතිවිය හැකි අතර  - කෘමි සතුන් ගෙන් සතා සර්පයන් ගෙන් මෙන්ම ආහාරපාන වලින් ඇතිවිය හැකි විෂ තත්ත්වයන් ඇතිවිය හැකි නිසා ආහාර ගැනීමේදී මෙන්ම එළිමහනේ කැලෑබද ප්‍රදේශවල වැඩ කරනවා නම් ඉතා ප්‍රවේසම් විය යුතුය.  

වකුගඩු ආශ්‍රිත රෝගයන් ගෙන් පෙලෙන  කටක ලග්න හිමියෝ මෙම කාලය වඩා පරිස්සම් විය යුතු කාලයකි.  පසුගිය කාලයේ පසුගාමී වූ ජීවිතේ බොහෝ දේවල් මෙතෙක් කාලයක් කරගැනීමට නොහැකි වූ බාධා වුණු සියල්ල සාර්ථක කරගැනීමටද මේ කාලසීමාවේදී  අවස්ථාව හිමි වේ. සෑම දෙයක් ගැනම ප්‍රබුද්ධව සිතීමේ  උසස් මානසිකත්වයක් ද ඇති වේ. 


සිංහ

  • ඥාන ශක්තිය ඇතිවේ

2025 සූර්ය වර්ෂය පුරාම වැඩිම මත භේදයකට, තිගැස්මකට ලක්වන ලග්නය වන්නේ සිංහ ලග්නයයි.  මාර්තු 29 සිදුවූ සෙනසුරු මාරුවෙන් පසු සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ 8 වැන්නට සෙනසුරු  පැමිණීමත් සමග ඊනියා ඒරාෂ්ටක පැත්තෙන් ගතහොත් මෙය අෂ්ඨම ඒරාෂ්ටක තත්ත්වයක් ලෙස සමාජ ගත වුවත්, සෙනසුරු අටවැන්නට පැමිණීමත් අනියත බියක් ඇතිකර නොගත යුතු බව ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතුය. 

හැම සිංහ ලග්න හිමියෙක්ම සෙනසුරු අටවැන්නට පැමිණීම සතුටක් ඇතිකර ගැනීම මිසක් දුකක් ඇතිකර ගැනීම අවශ්‍ය නැත.  ගුප්ත විද්‍යාවන් ඉගෙන ගැනීමට කැමති සිංහ ලග්න හිමියන්ට වගේම මනෝ විද්‍යාව ඉගෙන ගැනීමට කැමති සිංහ ලග්න හිමියන්ට අනෙක් ලග්න හිමියන්ට වඩා වැඩි වරප්‍රසාද තත්ත්වයක් පවතී. විෂය ගැඹුරු රහස් , සියුම් ඥාන ශක්තිය ඇතිවේ. සෞඛ්‍යය සම්බන්ධයෙන් කතා කිරීමේ දී අක්මාව, වකුගඩු, පිත්තාශය සම්බන්ධයෙන් මෙන්ම කොඳුඇට පෙළ  ආශ්‍රිතවත් නිධන්ගත රෝගයන් ගෙන් පෙළෙන සිංහ ලග්න හිමියන්   ඉතාම ප්‍රවේසම් විය යුතුය. සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ ගුරු ග්‍රහයා ගමන් කරන්නේ ඉතාම  බලවත් තැනක වන අතර,  එකොළොස් වැන්නේ එම ග්‍රහ පිහිටීම සිංහ ලග්න හිමියාට සෑම අතකින්ම ජයග්‍රහණ අත්කර දේ. ව්‍යාපාර කරන සිංහ ලග්න හිමියන්ටත් කෙනෙක් යටතේ වැඩ කරන සිංහ ලග්න හිමියන්ටත් තමන්ගේ උසස්වීම් ලැබිය හැකි වාසනාවන්ත කාලසීමාවකි. මේ ගත වන්නේ සිංහ ලග්න හිමියන්ට චකිතයකින්, බයකින් තොරව තමන්ගේ මේ සූර්ය වර්ෂයට රිසි සේ  මුහුණ දිය හැකි  වාසනාව භුක්ති විඳීමට ලැබෙන කාලයකි.


කන්‍යා

  • කීර්තියක් ප්‍රශංසාවක් ලැබේ

මේ කාල සීමාව කන්‍යා ලග්න හිමියන් ගේ බටහිර දිසාව කේන්දරේ හත්වැන්න විශාල වශයෙන් උත්තේජනය වන කාල සීමාවකි.   

මේ එළඹෙන්නේ කන්‍යා ලග්න හිමියන්ට පෙර නොවූ විරූ අවස්ථාවක්ය.   සමාජයෙන් ලොකු කීර්තියක් ප්‍රශංසාවක් ලැබේ. ව්‍යාපාරික, දේශපාලනික, සාමාන්‍ය සමාජ ජීවිතය පැත්තෙන් හොඳ විශ්වාසවන්ත භාවයක් ඇතිකර ගැනීමේ හැකියාව ඇත.  ඒ වගේම සාර්ථක ගිවිසුම්වලට ද්වීපාර්ශ්වීය  ගනුදෙනුවලට ඉතාම සුබය. තමා කෙරෙහි වගේම තමාගේ ආත්ම ශක්තිය විශාල වශයෙන් ඇතිවන කාලයකි. මේ කාලය ඒ අතර වාරයේ රැවටීම්වලටද ඉඩකඩ පවතී.  

ජනප්‍රසාදය ලැබෙන තරමට එයින් මුලාවෙන්න ගියහොත් සියලු බලාපොරොත්තු බිඳ වැටේ.  විශේෂයෙන් විදේශ ධනය, විදේශ දැනුම, සංචාරක කර්මාන්තය, පතල් කර්මාන්තය  වගේම උපස්ථාන සේවය, පිරිස් කළමනාකරණ සේවය, අපනයන ක්ෂේත්‍රවල වැඩ කරන කන්‍යා ලග්න හිමියන්ට මෙය  වාසනාව ගෙන දෙන  කදිම අවස්ථාවකි. කන්‍යා ලග්න හිමියන්ට මේ සූර්යයා වර්ෂය උදාවීමත් එක්කම සියලු කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාවන් මෙන්ම ලොකු පහසුවක් වාසනාවක් ලැබේ.  

විවිධ භාෂා ඉගෙන ගන්නා අයටත් මෙම කාලය යහපත් කාලයකි. තරග විභාගවලට පෙනීසිටින්නට ද  හොඳ කාලයකි.  සමාජ ජනප්‍රසාදයට පත්වේ.  දේශකයන්ට, වෛද්‍ය වෘත්තිකයන්ට හොඳ අවස්ථාවන් හිමි වේ.  අාධ්‍යාත්මික පැත්තෙන් ඉගෙන ගන්නා අයටද මේ කාලසීමාව ඉතාම හොඳ කාලසීමාවකි. 


තුලා

  • විදෙස් ශිෂ්‍යත්ව ලැබීම් 

තුලා ලග්න හිමියාගේ කේන්දරයේ සූර්ය වර්ෂය ආරම්භ වන්නේ නිරිත දිග දිශාව ඉතාම බලවත්ව තිබිය දීය. කේන්දරේ හයවැන්නේ සෙනසුරුගේ ගමන තුලා ලග්න හිමියන්ට ඉතාම බලවත්ය. විදේශ රැකියා , විදේශ ධනය, විදේශ අධ්‍යාපනය ලබන තුලා ලග්න හිමියන්ට මෙන්ම සංචාරක කර්මාන්තයේ නියැළෙන තුලා ලග්න හිමියන්ටද  සෑම අතින්ම සුබ කාලයකි. අධ්‍යාපනික වශයෙන් හොඳ දියුණුවක් ලැබිය හැකිය. 

නමුත් ඔවුන් වැරදි තීන්දු ගැනීමේ ඉඩකඩ වැඩි නිසා රැකියා සහ අධ්‍යාපනය, විවාහය කියන තුන තුළ වැරදි වැටහීම් ඇති කරගන්න වැඩි ඉඩක් ඇති නිසා  මෙතෙක් ගමන් කරපු මාර්ගය වෙනුවට ඒවා අතහැර අලුත් සම්බන්ධකම්වලට අලුත් දිසාවන්ට යෑම  මායාවකි.  මේ උගුලට  හසු නොවීමට වග බලා ගත යුතුය. මායාවන්ට හසුවුණ හොත් පෙර කියූ පරිදි සුබදායක තත්ත්වයන් විනාශ වී  පෙර හිටියාටත් වඩා දුර්වල තැනකට පත්විය හැකිය.  කාලය හොඳ උනත් වැරදි තීන්දුවක් ගත්තොත් ඒ සියල්ල කණපිට හැරීමේ ඉඩකඩ ඇත. 

විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා පවත්වන තුලා ලග්න හිමියන් වගේම යුග ජීවිතය තුළ දී  තමන්ගේ සහකාරිය හෝ සහකරුවා සම්බන්ධයෙන් වැරදි වැටහීම් ඇතිවිය හැකි බැවින් ඊට වැඩි අවධානයකින් කටයුතු කළ යුතු වේ.  විදේශ රටවල්වලින් ලැබිය හැකි  ශිෂ්‍යත්වයන් ලැබීමේ භාග්‍යය ද ඇත.  එසේම නෙප්චුන් ග්‍රහයාගේ පිහිටීම එතරම්ම හිතකර වන්නේ නැත. ගර්භාෂ ආශ්‍රිත රෝගවලින් පීඩා විඳි  තුලා ලග්න හිමියන් සිටී නම් එම රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුය. 

ගින්දර, ගෑස්, විදුලිය, කෙමිකල් සහ අවදානම්සහගත කැලෑ ප්‍රදේශවල වැඩ කරනවා නම් විෂකුරු  සතුන්ගෙන්  ඉතාම පරිස්සම් විය යුතුය.   විෂ සහිත සතුන් ගෙන් අනතුරු ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇත.  ඒ අනතුරු හරහා  වකුගඩුවලට හානි විය හැකිය. ඒ වගේම රසායනාගාර කර්මාන්තශාලාවල සේවය කරන තුලා ලග්න හිමියන්ට රසායනික ද්‍රව්‍ය ශරීරගත විය හැකි බැවින්  අවධානයකින් යුතුව කටයුතු කිරීම යෝග්‍ය වනු ඇත.  


වෘශ්චික

  • අනපේක්ෂිත ජයග්‍රහණ

වෘශ්චික ලග්න හිමියන්ට මේ සූර්ය වර්ෂය ඉතා විජයග්‍රාහී වර්ෂයකි. ඔවුන්ගේ කේන්දරයේ සෑහෙන බලවත් වීම් ගණනාවක් සිදුවේ.  එහි ප්‍රධානම දේ වන්නේ මෙතෙක් කල් පීඩාවක් හැටියට කේන්දරයේ නිරිත දිසාවේ පීඩාකාරී ග්‍රහයෙක් හැටියට  ගමන් කළ ග්‍රහයා එම ස්ථානයෙන් නික්මී යාමය. එම ග්‍රහයා නික්මෙන්නේ කේන්දරය දකුණු දිසාවටය. ඒ අනුව මෙතෙක් වෘශ්චික  ලග්න හිමියන් වෙත තිබුණු බාධා ඉවත්වීම සිදුවේ.

ඔවුන් තුළ මෙතෙක් තිබුණු අදහස්, උදහස්, ආකල්ප, තීරණ ගැනීමේ ක්‍රියාවලිය, ඇසුරු කරන පුද්ගලයන් වෙනස් වීමක් පෙන්නුම් කරයි.   මෙතෙක් ආපු ගමනට වඩා ඉදිරි ගමන බොහොම ස්ථාවරය.  අනපේක්ෂිත ජයග්‍රහණ ලැබීම් ඇත.  ගේ දොර ඉඩකඩම් හා දේපළ සම්බන්ධයෙන් මිලදී ගැනීම් විකිණීම්වලදී ඉතා ප්‍රවේසම් විය යුතු කාලයකි. 

සෞඛ්‍ය ගැන කතා කිරීමේ දී අධික රුධිර පීඩනය, පෙණහලු ආශ්‍රිත රෝග,  රුධිරගත සීනි, මේදය අක්මාවේ තෙල් තැන්පත් වීම වැනි රෝගාබාධවලින් පෙළෙන වෘශ්චික ලග්න හිමියන් මේ කාලය ඉතාම ප්‍රවේසම් විය යුතු කාලයකි. විශේෂයෙන් ආහාර පැවතුම්  ඉතාම පරිස්සම් විය යුතුය.  දේශපාලන ක්ෂේත්‍රයේ, රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන්  ව්‍යාපාරික අංශන්ගෙන්, මහජන සම්බන්ධතා සමග වැඩ කරන වෘශ්චික ලග්න හිමියන්  පරිස්සම් විය යුතු කාලයකි. මන්ද වෘශ්චික ලග්න හිමියන්ට  රැඩිකල් ආවේගශීලී භාවයන් ඇතිවිය හැකි බැවින් තමාටත් අන් අයටත් එයින් හානිදායක තත්ත්වයක් ඇතිවිය හැක. එමගින් කීර්ති නාමයට හානි විය හැකිය.  සමස්තයක් ලෙස ගත් කල වෘශ්චික  ලග්න හිමියන් මානසික පැත්තෙන් සියල්ල කළමනාකරණය කරගත හැකි නම්  පෙරට වඩා මෙම සූර්ය වර්ෂය විජයග්‍රහණයක් කරගත හැකිවනු ඇත.


ධනු

  • විජයග්‍රාහී අරම්භයක් 

ධනු ලග්නය ද මේ සූර්ය වර්ෂය පුරාම විජයග්‍රහණයට ලක්වන ලග්නයකි. ඔවුන්ගේ කේන්දරේ ඉතා ප්‍රබල ග්‍රහ පිහිටීම් ගණනාවක් සිදු වන අතර  කේන්දරය දකුණු දිශාව සෙනසුරු ගෙන් බලවත් වීම සිදුවේ.  ඒ වගේම  සෙනසුරු නෙප්චුන් ගෙන් බලවත් වේ. මෙම නෙප්චුන් සෙනසුරු සංයෝගය අධ්‍යාපනයට, අධ්‍යාත්මික ක්ෂේත්‍රයට, නව නිර්මාණ කරන ධනු ලග්න හිමියන්ට ඉතාම කදිම අවස්ථාවක් වේ.  

ඉදිකිරීම් කටයුතුවල නියැලෙන අයටත්, ස්වකීය නිර්මාණ කරන්නට  කැමති කලාකරුවන්ට,  ව්‍යාපාරිකයන්ට වගේම රැකියා සොයමින් සිටි ධනු ලග්න හිමියන්ටත් මෙය ඉතාම සුබ කාලයකි. ඒ වගේම ගුරු ලග්නය මෙතෙක් ගමන් කරේ ධනු ලග්න හිමියාගේ ඉතාම නරකම ස්ථානයක වන අතර,  ගුරු එම ස්ථානයෙන් මිදී  හත්වැන්නෙ ගමන් කිරීම ධනු ලග්න හිමියාට තිබූ අවදානම් තත්ත්ව මගහැර  ඉතා හොඳ සමාජ සම්බන්ධතා ජාලයකට වාසනාව හිමි වේ.

හොඳ ගුරුවරුන්ගේ උපදෙස් ලැබෙන කාලයකි.  බලවත් අයගේ ඇසුරට මෙන්ම සමාජ සම්බන්ධතා තුළ නායකත්ව  ලක්ෂණ පෙන්නුම් කරයි.  ලේඛන කලාව මාධ්‍යයට සම්බන්ධ ධනු ලග්න හිමියන් සිටී නම් ඒ අයටද ඉතාම   සුබ කාලයකි.  ඒ වගේම  විවාහ වීමට බලාගෙන සිටි ධනු ලග්න හිමියන්ට හොඳ මංගල යෝජනා ඉදිරිපත් වන කාලසීමාවකි. ප්‍රේම සබඳතා තිබුණා නම් ඒවාට දෙමව්පියන්ගේ  කැමැත්ත ලැබේ.  

යුරේනස් ග්‍රහයාගේ ගමන එතරම් සුබදායක නොවන අතර ආමාශගත රෝගවලින් පෙළෙන ධනු ලග්න හිමියන් ඉතාම පරිස්සම් විය යුතු කාලයකි. මේ කාලසීමාව තුළ  එම රෝගාබාධ උත්සන්න වීමේ හැකියාව පවතී. ඒ වගේම එකවරම  ක්ෂණික කෝප තත්ත්වයන් ඇතිවිය හැකි අතර,  ඒවා පාලනය කර ගැනීමට ධනු ලග්න හිමියන් දක්ෂ විය යුතුය. එසේ නොවුණ හොත් ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යයට ද එය අහිතකර ලෙස බලපෑම් එල්ල කරන අතර, ඇතිවන මානසික පීඩාවන් පාලනය කර ගැනීමටත් ධනු ලග්න හිමියන් ටිකක් අවධානය යොමු කළ යුතු වේ. විදේශගත ධනය විදේශගත වීම්වලට අවස්ථාව හිමි වේ. කොහොම නමුත් ධනු ලග්න හිමියන්ට මෙම සූර්ය වර්ෂය විජයග්‍රාහී අරම්භයකි. 


මකර

  • සහජ හැකියාවන් ඉස්මතු වේ

මකර ලග්න හිමියන්ගේ කේන්දරයේ 2025 සූර්ය වර්ෂය ආරම්භ වන්නේ ම සුවිශේෂී පෙරළි ගණනාවකට මුල පුරමිනි. ඔවුන්ගේ කේන්දරේ හයවැන්න හෙවත් නිරිත දිසාවට ගුරු ග්‍රහයා පැමිණීම  හොඳ නරක දෙකම ඇතිවන අවස්ථාවකි.  මෙහි ඍණාත්මක පැත්ත වනුයේ  ගර්භාෂගත රෝග, ඔසප් චක්‍රය සම්බන්ධ රෝග, බඩ කැක්කුම් වැනි රෝග වලින් පෙළෙන මකර ලග්න හිමියන් සිටී නම් ප්‍රවේසම් විය යුතු වේ. 

ඒ වගේම රුධිරගත සීනි සහිත පවුලකින් එන මකර ලග්න හිමියනුත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඉතාම පරිස්සම් විය යුතු කාලයකි. ඒ වගේම රැකියා කරන ස්ථානයේ සේවා ප්‍රධානීන් සමග අනවශ්‍ය ආකාරයේ මත ගැටුම් හට ගැනීම ඉඩකඩ  ඇති බැවින්, එවැනි අවස්ථාවලදී ප්‍රවේශමෙන් වචන පාවිච්චි කිරීම යහපත්ය. මකර ලග්න හිමියන් තමන්ගේ සේවා ප්‍රධානීන් සම්බන්ධයෙන් සහ තමන්ට දැනුම දෙන ගුරුවරු සම්බන්ධයෙන් ඉතා ඉවසිලිවන්තව ප්‍රඥාවකින් වැඩ  කළ යුතු කාලයකි. වැරදි වටහීම් හටගත්ත ද ඒවාට එරෙහිව නැගීසිටින්න ගතහොත් ලැබෙන්න තිබෙන වාසිදායක තත්ත්වයන්ට  අවාසිදායක තත්ත්වයන් ඇතිවිය හැකිය. 

මකර ලග්න හිමියා තුළ තියෙන සහජ හැකියාවන් ඉස්මතු වේ.  පෙර පින මතුවේ. රැකියා උසස්වීම්වලට වාසනාව හිමි වේ.  ඒ වගේම ලංකාව ඇතුළතත් ලංකාව පිටතත් ගමන් බිමන්වලට වාසනාව ඉස්මතු වෙන කාලයකි.  විදෙස්ගත දැනුම සහ ධනය ලැබීමේ වාසනාව හිමිවේ.  රැකියාව තුළ උස්වීමක් බලාපොරෙත්තු වූ මකර ලග්න හිමියෙකු වේනම් නියත වශයෙන්ම  රැකියාවේ උසස්වීම් ලැබේ. සෞඛ්‍යය පිළිබඳව කතා කිරීමේ දී  ආහාරපාන ගැන  පාලනයක් තබාගැනීම යහපත්ය.  උගුර කන නාසය සම්බන්ධව විශේෂයෙන් තයිරොක්සීන් සම්බන්ධ ලෙඩ රෝග ඇතැයි සැක කරන මකර ලග්න හිමියන් පෙරට වඩා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමට අවධානය යොමු කිරීම යහපත්ය.  ඒ වගේම අනෙක් අය වෙනුවෙන් පෙනී සිටීම නොකළ යුතුය. ඉදිරි සූර්ය වර්ෂය පුරාම මූල්‍ය වශයෙන් ඇපකරුවෙක් වීම නැත්නම් යම් කෙනෙක් වෙනුවෙන් සහතිකයක් දීම නැත්තම් ද්වීපාර්ශ්වික ගිවිසුම්වලට යෑම නැත්නම් තව කෙනෙකුට වචනෙන් හෝ පොරොන්දු  දීම නොකළ යුතුය.

මකර ලග්න හිමියන්ගේ ප්‍රේමය විවාහයට මෙතෙක් තිබූ බාධා තත්ත්වයන් ඉවත්ව ගොස්  හොඳ විවාහයෝජනා ඉදිරිපත් වේ.


කුම්භ

  • තරග විභාග ජය 

2025 සූර්ය වර්ෂය කාලෙකට පසුව කුම්භ ලග්න හිමියන්ට සුබ පල ගෙන දෙන බවක් පෙන්නුම් කරයි.  කුම්භ ලග්න හිමියන්ගේ ජීවිතයේ බොහෝ පෙරළිකාර බොහෝ ජයග්‍රහණයන් හිමි වේ.  ලග්නයෙන් දෙවැන්නට සෙනසුරු බලවත් ලෙස පැමිණීම  ඒරාෂ්ටක තත්ත්වයක් ලෙස වරදවා වටහා ගන්නා කුම්භ ලග්න හිමියන්ට අවධාරණයෙන් කිව යුත්තේ මෙම ග්‍රහ පිහිටීම ඉතා සුබදායී තත්ත්වයක් ලෙස ගත හැකි බවය.  

මෙයින් ලැබෙන වාසිය වන්නේ ඉතාම ධාර්මික විදියට සහ ඕනෑම කෙනෙකුගේ ගෞරවය දිනාගන්නා සුලු පරිද්දෙන් ධනය ඉපයීමේ භාග්‍යය ලැබීමය. කාලෙකට පසුව තමන්ගේ ස්ථාවර සහ ජංගම වත්කම් වැඩි දියුණු කරගැනීමට ලැබෙන  කාලයකි.  රැඩිකල් පෙරළිකාර ලෙස වැඩ කිරීමේ ශක්තිය ලැබේ. ඒ නිසාම බොහෝ කටයුතුවලදී ජයග්‍රහණ ලැබේ. හරිදේ හරි විදියට කළොත් ප්‍රතිඵල ලැබෙනවා වගේම නරක දේ කළොත් ඒවායින් අතිශය නරක ප්‍රතිඵල ලැබේ. ත්‍රිකෝණ ස්ථානයක් වූ පස්වැන්නේ ගුරු බලවත් වී සිටින නිසා කුම්භ ලග්න හිමියා විසින් වැරදි වීමට තිබූ ඉඩකඩ අඩු වේ. එම නිසා කුම්භ ලග්න හිමියන් බය නැතුව තීන්දුව අරගෙන වැඩ කිරීම මේ වසර පුරා අපේක්ෂා කළ හැකිය.  

ද්වීපාර්ශ්වීය සම්බන්ධතා  පැවැත්වීමේදී සහ මහජන සම්බන්ධතා පැවැත්වීමේදී ඒකාධිපතියන් ලෙස තනි මතයට වැඩ කිරීම සුදුසු වන්නේ නැත. උසස් අධ්‍යාපනයට සුබපල ගෙන දේ. පහුගිය තරග විභාගවලින් අසමත් වුණා නම් ඒවාට පෙනී සිට ඉහළ ජයග්‍රහණ  ලබා ගැනීමේ හැකියාව පවතී. ඉදිරි කාලයේදී අර්ථවත් ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමටත් සුබ වේ.  ගුරුවෘත්තින්වල නියැළෙන අයට, ලේඛකයන්ට, දේශපාලනඥයන්ට ව්‍යාපාරිකයන්ට වගේම පිටරටවල ආයෝජනය කරන ව්‍යවසායකයන්ට ඉතාම හොඳ වාසිදායක තත්ත්වයන් උදා වේ. 


මීන

ආර්ථිකය, රැකියාව අතින් ජයග්‍රහණ

මීන ලග්න හිමියාට මේ සූර්ය වර්ෂය  තරමක් අභියෝගාත්මක වර්ෂයක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රධාන හේතුව වන්නේ  සූර්ය වර්ෂය ආරම්භයේ දීම ලග්න ශීර්ෂය මත නැගෙනහිර දිසාවේ සෙනසුරු  තැන්පත් වී සිටීම ය.  මෙම තත්ත්වය  සාම්ප්‍රදායික වශයෙන් ඒරාෂ්ඨක  තත්ත්වයක් ලෙස සැලකුවද,  මෙය මීන ලග්න හිමියන්ට ඉතා භාග්‍යවන්ත අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.  

අධ්‍යාපනික, ආගමික, ආධ්‍යාත්මික වශයෙන් බලවත් පිහිටීමකි.  ඒ වගේම තමන්ගේ ජීවිතයේ දී ධනය, තනතුරු ආදිය සම්බන්ධව කටයුතු මීන ලග්න හිමියන්ට ඒවා ලබාගැනීමට ද වාසනාවන්ත හොඳ පිහිටීමක් පෙන්නුම් කරයි. මානසික වශයෙන් පීඩාවට කම්පාවට යන්න තිබූ වෙලාවක සෙනසුරු සහ ගුරු කේන්ද්‍රස්ථානගත වීම නිසා ඒ වගේම නෙප්චුන් ගෙන්  කේන්ද්‍රස්ථානගත වීම නිසා මීන ලග්න හිමියාට නොසිතූ විරූ ජයග්‍රහණ ලැබෙනු ඇත. ආර්ථික වශයෙන්,  වෘත්තිය වශයෙන්,  ජයග්‍රහණය උරුමය. නිවාස ඉඩකඩම් විකිණීමට මිලදී ගැනීමට අපේක්ෂා කරන, උසස් අධ්‍යාපනය කරන, දේශපාලන හා ව්‍යාපාරික, ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නියුතු මීන ලග්න හිමියන්ට සතුටු විය හැකි තත්ත්වයක් උදා වනු ඇත. ගුරු ග්‍රහයා වක්‍රවන කාලයක් එනවා. ඒ කාලෙදි මේ මීන ලග්න හිමියා බෙහෙවින්ම තව කෙනෙකුගේ උපදෙස් අනුව අනුශාසනා ඇතිව තමන්ගේ ජීවිතය සැලසුම් කරගැනීම සහ තීන්දු ගැනීම වැදගත් වේ. නැත්නම් බොහෝ අර්බුද ඇතිවිය හැකිය.  කොහොම වුවත් මේ සියල්ල අවබෝධයෙන් භාර ගතහොත්  මීන ලග්න හිමියාට මෙම සූර්ය වර්ෂය ජයග්‍රාහී අවස්ථාවක් හැටියට භාර ගැනීම ඉතාම සුදුසු වේ. 


නදීශා අතුකෝරළ