පිට පිටම ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) කුසලාන දිනා ගැනීමේ අවස්ථාව ඉරිදා (27) ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය. ඒ ඉන්දියාවේ බැංගලෝර් නුවර දී එදින නිමාවට පත්වූ 13 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයෙන් සිංගප්පූරුවට ශ්‍රී ලංකාව ලකුණු 67 - 64 ක තියුණු පරාජයක් ලැබීමෙනි.
ආසියානු කුසලාන අවසන් තරගය නැරඹීමට චෙන්නායි නුවර සිට පැමිණ සිටි තර්ජනී ෂිවලිංගම් සිය සැමියා සමග...බෲනායි කණ්ඩායමේ පුහුණුකරු තිලකා ජිනදාස මෙනවියද මෙහි වෙති.
|
ඒ අනුව ශ්‍රී ලංකාවට වසර 2016 න් පසුව තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු විය. දෙපිල අතර පැවැති අවසන් මහ තරගය අවසන් විනාඩිය දක්වා අති තියුණු මුහුණුවරක් ගැනීම හමුවේ ජයග්‍රාහි කණ්ඩායම තීරණය කිරීම සඳහා අතිරේක තරග කාලයක් ලබාදීමට ද සිදු විය.
එහිදී පැය දෙකකට ආසන්න කාලයක් පුරා විටින් විට දෙපිලේ ලකුණු සම වෙමින් ද ඇදී ගිය තරග නිමාව සටහන් වූයේ වැඩි ලකුණු තුනකින් (67 -64) සිංගප්පූරුවට ජය හිමි වෙමිණි. තරගයේ නියමිත කාලය අවසන් වූයේ ලකුණු 52 - 52 කට සම වෙමිණි.
එහිදී පළමු වටය ලකුණු 17 -12 ක් ලෙස පෙරමුණ ගැනීමට සිංගප්පූරුව සමත් විය. එහෙත් දෙවැනි හා තෙවැනි වට ජය ගත්තේ (15/11 -15/11) ශ්‍රී ලංකාව විසිනි. නැවැත සිව් වැනි වටය 13 - 10 කට ජය ගැනීමෙන් නියමිත තරග කාලයේ මුළු ලකුණු සමකර ගැනීමට සිංගප්පූරුව සමත් විය.
එයින් අනතුරුව අතිරේක තරග කාලය තුළදීත් එකිනෙකට නොදෙවෙනි දෙපිලේ දක්ෂතා හමුවේ මෙලෙස තරගය සම වූ අවස්ථා කීපයක්ම නැවතත් වාර්තා විය. ශ්‍රී ලංකාව අවසන් වරට (2022) ආසියානු කුසලාන දිනා ගත්තේ සිංගප්පූරුව අවසන් තරගයේ දී ලකුණු 63 - 53 කට පරාජය කරමිනි.
සිංගප්පූරුව මීට පෙර අවසන් වරට ආසියානු දැල්පන්දු කුසලාන දිනා ඇත්තේ මීට දශකයකට පෙර 2012 කොළඹ දී පැවැති නව වැනි තරගාවලියේදීය. එහිදීත් ඔවුන්ට පරාජය වූයේ ශ්‍රී ලංකාවයි.
ශ්‍රී ලංකාවේ අවසන් මහ තරග පරාජය ගැන පුහුණුකාරිණි දීපි නාළිකා ප්‍රසාදි මහත්මිය පැවැසුවේ පන්දු රැකීමේ දුර්වලතා කීපයක් ඊට හේතුවූවත් පොදුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ප්‍රශංසනීය වන බවයි.
ශ්‍රී ලංකාව මීට පෙර ආසියානු දැල්පන්දු කුසලාන දිනා ගත් අවස්‍ථා ගණන හයකි. පසුගිය ඉරිදා ජයග්‍රහණයත් සමග සිංගප්පූරුව සිව් වතාවක් එය දිනා තිබේ.
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා පිට පිටම තරග හතක් ජය ගනිමින් මෙවර අවසන් මහ තරගයට නිර්දේශ ලැබීය. පැවැති අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ හොංකොං ලකුණු 71 -41කින් පරාජයට පත් කරමිනි.
ඒ අතර සිංගප්පූරුව මෙවර අපරාජිතව තරගාවලිය ජය ගැනීමට සමත් වීම කැපී පෙනුණි. මලයාසියාව අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ට පරාජය විය. ඒ ලකුණු 54 - 46 කටය.
මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයේ දී මැලේසියාව විසින් හොංකොං ලකුණු 67 - 48 කින් පරාජය කරන ලදී. මීළග 14 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය හොංකොං හිදී පැවැත් වේ.
මෙවර ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වන විට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ කැඳවීමට සූදානම් කර තිබූ (2024 -26) නිලවරණයේ ආරවුල් හේතුවෙන් අත් හිටුවා තිබුණි. ඒ හේතුවෙන් මෙම තරග සංචාරයේ සම්බන්ධි කරණ කටයුතු සිදු කළේ ක්‍රීඩා අමාත්‍යාංශය විසිනි.
ආසියානු කුසලාන අනුශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා දුලංගී වන්නිතිලක කටුනායක ගුවන් තොටුපොළේදී දැල්පන්දු නිසි බලධාරී ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින්
|
ආසියානු නෙට්බෝල් රැජින ලෙස වසර 10 කට ආසන්න කාලයක් එක දිගට කිරුළ පැලඳ සිටි ශ්‍රී ලංකාවෙන් එය ගිලිහුණේ නිලධාරිනියන්ගේ බෙලි කපා ගැනිලි නිසා ද...? ඒ පිළිබඳව තරග සංචාරය නිමවා දිවයිනට පැමිණි ජාතික දැල්පන්දු පුහුණුකාරිනී දීපි නාළිකා ප්‍රසාදි මහත්මිය මාධ්‍යවේදීන්ට කළ ප්‍රකාශය අවධානයට යොමු විය යුත්තකි.
ආසියානු දැල්පන්දු කුසලාන දිනා සිටි ශ්‍රී ලංකාව අනුශූරියන් දක්වා පහළට ගිය මෙකී අවස්ථාව වන විට රටේ දැල්පන්දු පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අත්හිටුවා තිබුණි. ඒ වෙනුවට ක්‍රීඩා අමාත්‍යාංශය එහි වැඩ බැලීය. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ඇතුළුව ශ්‍රී ලංකා රග්බි සංගමය, ලංකා ඔටෝමොබයිල් ( මෝටර් රථ ක්‍රීඩා) සංගමය හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, පසු ගිය ජූලි මාසයේ දී එවකට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් තාවකාලිකව අත්හිටුවූයේ පරිපාලන හා නිලවරණ ආරවුල් ඔඩුදුවා තිබූ අවස්ථාවකදීය.
ඒ වෙනුවට ඒවායෙහි නැවැත නිලවරණ කැඳවා ක්‍රියාකාරීත්වය පණ ගන්වන තුරු නිසි බලධාරියා ලෙස පත් කළ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදටත් එම ධූරයේ කටයුතු කරයි. නමුත් එහි ඊළඟ සිදුවීම වන්නේ මෙසේ ක්‍රීඩා ඇමැතිවරයා විසින් වාරණයට ලක්කළ එකී ජාතික සංගම් හතරම මේ වන විට ඊට එරෙහිව අධිකරණය හමුවට ගොස් තිබීමයි.
ශ්‍රී ලංකා පුහුණුකාරිනි ප්‍රසාදි මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පෙරළා ළඟාවීමෙන් පසුව පැවැසුවේ පැවැති දැල්පන්දු පරිපාලනයේ ආරවුල් ශ්‍රී ලංකාවේ ආසියානු කිරුළ ගැලවීයාමට බලපෑමක් වුණු බවයි. ඇය එහිදී පෙන්වා දුන් පරිදි සිදුවූ අඩුපාඩු කීපයක් මෙසේය.
මැයි මාසයේ සිට ජාතික පුහුණුකරු ධූරයේ වැටුප් නොලැබීයාම, පුහුණු සංචිතයේ ක්‍රීඩිකාවන්ගේ පහසුකම් පිළිබඳව ගැටලු පැන නැගීම, ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරහුරු සංචාර නොලැබී යාම හා එහි සම්බන්ධිකරණ කටයුතු බිඳී යාම, මෙම කාරණා තුළින් පුහුණු සංචිතයේ ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය සිඳී යාම.
කෙසේ වූවත් නිසි බලධාරී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය, රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවැසුවේ මෙම තත්වය අවම කර ගනිමින් කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සමත් වූ බවයි. පුහුණු සංචිතයේ පහසුකම් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ බවත් ඔහු පවසයි.
ඒ අතර ආසියානු දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනිය ශ්‍රී ලාංකිකයෙක් ඒ වන විට දරමින් සිටීමත් කැපී පෙනේ. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය ඇයයි.
ඇයට සංචාරක ආසියානු තරග ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය හිමිව තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා දුලංගි වන්නිතිලක පැවැසුවේ පෙරහුරු තරග අත්දැකීම් නොමැතිව බැංගලෝරයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම එම අත්දැකීම් ඉහළින්ම ලබා පැමිණි සිංගප්පූරුවට පරාජය වූ බවයි.
මෙම කාරණා සම්පූර්ණවීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම බලපෑ බව ශ්‍රී ලංකා පුහුණුකාරිණීය මෙන්ම එහි නායිකාවගේ ද අදහසයි.
තර්ජනී ශිවලිංගම් ලෝකයේ උසම ක්‍රීඩිකාව ලෙසත් එමෙන්ම ලෝකයේ ඒ වන විට පසු වූ ජ්‍යෙෂ්ඨතම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙසත් වසර 2009 සිට ලබා දුන් සේවය අවසන් වූයේ 2023 වසරේදීය. ඒ වන විට 44 වැනි වියේ පසුවූ ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙන විට ආසියානු කුසලාන තරගාවලි පහක දී එහි නිත්‍ය පන්දු විදින්නියගේ සෙවය අති විශිෂ්ට අයුරින් ඉටු කර තිබුණි.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතීම සඳහා ඇය පළමු වතාවට නරඹන්නෙකු බවට පත්වෙමින් බැංගලෝර් ක්‍රීඩාංගණයට සිංහ කොඩිය අතැතිව පැමිණ සිටියේ චෙන්නායි නුවර වැසියෙකු වන සිය සැමියාත් සමගයි. මෙම ක්‍රීඩිකාව ලොව උසම ක්‍රීඩිකාව වූයේ අඩි හයයි අඟල් 10 ක් තරම් උස වීමෙණි.
කෙසේවූවත් තර්ජණී තරම් උස නොවුණත් ඇයට පමණක් දෙවැනි වූ ලොව උසම තවත් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට එක්ව සිටියි. ආබාධ තත්ත්වයන් හේතුවෙන් පසු ගිය කාලයේ දැල්පන්දු පිටියෙන් ඈත්ව සිටිය ඇය අඩි 6 අඟල් දෙකක් උසැති තිසාලා අල්ගමයි.
ඇගේ සේවය ඉතා ප්‍රශංසනීය මට්ටමක පැවැති බව කණ්ඩායම් නායිකා දුලංගි වන්නිතිලකගේ අදහසයි.
අවසානයේ දී අනුශූරියන් වෙමින් දිවයිනට ළඟාවූ සංචාරක ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නිසි බලධාරී ෂේමාල් ප්‍රනාන්දු මහතා ප්‍රධාන ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී උණුසුම් අයුරින් පිළි ගත්තේ මෙම කතා පුවතේ පළමු පරිච්ඡේදය නිමාවට පත්වීමෙනි.
- නාමල් පතිරගේ