කඳුළ ළඟ හසරැල්ල


 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යෑමට ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවක් තිබුණා නම් එංගලන්ත තරගයේ පරාජයත් සමග අවසන් විය. එම තරගය එංගලන්තය ජයගන්නා බව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දෙස බලා සිටි ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණකි. එහෙත් වැදගත් වන්නේ එංගලන්තයට එරෙහිව සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලබාදුන් තරගයයි. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගොස් තිබුණේ මේ තරගකාරීත්වයයි. ලෝක කුසලාන තරගාවලියේ දී සිදු වූයේ එයයි. මේ සටහන ලියැවෙන්නේ බ්‍රහස්පතින්දා උදෑසනය. එහෙයින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්වෙන කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයේ ප්‍රතිඵලය ගැන අප දන්නේ නැත. පසුගිය සතියේ දී අප කියූවේ මේ තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ඇති බවයි. එය අපි යළිත් කියමු. 


කණ්ඩායමේ සංයුතිය, ක්‍රීඩකයන්ගේ තරගකාරීත්වය මේ සියල්ල නිසා කොදෙව්වන් පරාජය කිරීමේ අවස්ථාවක් අපට තිබේ. එසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම සිටි තැනින් පියවර 3 ක් ඉදිරියට පැමිණ ඇති බව අපට තහවුරු වනු ඇත. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව තබා ඇත්තේ පියවර දෙකක් පමණි. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය ජයගෙන ශ්‍රී ලංකාව සිටි තැනින් පියවරක් ඉදිරියට තැබූ අතර බංග්ලාදේශය පරාජය කරමින් තවත් පියවරක් ඉදිරියට තැබීය. කොදෙව් තරගයද ජයගතහොත් වර්තමාන විස්සයි 20 කණ්ඩායම තවත් වසරකින් පසුව ලෝක කුසලානයක අවසන් තරගයක් කරා පැමිණීමට සුදුසු මට්ටමේ කණ්ඩායමක් වන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.   


දකුණු අප්‍රිකාවට එරෙහිව තරගය විනාශ කළේ ළහිරු කුමාර බවත් දසුන් ශානක නායකයෙකු ලෙස අසාර්ථක බවත් ඇතැමුන් කියන අයුරු පසුගිය දිනවල දැක ගත හැකි විය. ළහිරු කුමාර දකුණු අප්‍රිකාවට එරෙහි තරගය පරාජයට වග කිව යුතුය. ඔහු පමණක් නොවේ සමස්ත කණ්ඩායමම වගකිව යුතුය. එය ළහිරු කුමාර පිට පටවා සැනසිය නොහැකිය. ළහිරුගේ වැරැද්ද ඔහු පාඩමක් ඉගෙන නැතිවීමයි. දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයට ඔහුට සමාව දිය යුතුය. අනෙක් පැත්තේ හිටියේ මිලර්ය. මිලර් කවුද? මොනවද කරන්නේ කියා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ගැන දන්නා ඕනෑම කෙනෙකු දනී. මේ නිසා එදා ළහිරු කුමාරට සමාවක් දිය හැකිව තිබුණි. ඒ ළහිරු පාඩමක් ඉගෙන ගනු ඇතැයි යන විශ්වාසයෙනි. එහෙත් එංගලන්තයට එරෙහි තරගයේ දීත් ළහිරු එම වැරැද්දම කළේය. එංගලන්තය ලකුණු 83 කට කුඩුලු 3 ක් වැටී සිටි අවස්ථාවේ 15 වැනි ඕවරය යැවීමට පැමිණි ළහිරු හයේ පහර තුනක් සමග ලකුණු 22 ක් දුන්නේය. තරගය හැරෙන්නේ එතැනිණි. මේ නිසා ළහිරු කුමාර කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයටද ක්‍රීඩා කළේ නම් ශ්‍රී ලංකා පුහුණුකරුවාගේ සැලසුම් ගැන දෙවරක් සිතන්නට වෙයි.   


දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී චරිත් අසලංකගේ ඉනිම අතිශය වැදගත් විය. ආරම්භය අසාර්ථක වූ විට පැමිණෙන අංක 3 පිතිකරුවා ලෙස ඔහු ලකුණු වේගය ඉතාම හොඳින් පවත්වාගෙන යෑමට හැකි විය. එහෙත් චරිත් අමතක නොකළ යුත්තේ ඔහුට පහළින් එන සියලු‍ දෙනාටම වඩා ඉනිමක් හසුරවාගත හැකි පිතිකරුවා තමන් බවයි. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තයට එරෙහි තරග 3 දීම ඔහුගේ දැවී යාම සිදුවූයේ අනවශ්‍ය අවස්ථාවලය. මේ නිසා අනාගත විස්සයි 20 තරගවලදී චරිත් අංක 03 පිතිකරුවා නොව අංක 04 පිතිකරුවා වන්නේ නම් කණ්ඩායමට එය ඉතාම වාසිසහගත විය හැකි බව පෙනේ. සුපිරි 12 දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකා පිල අසාර්ථක වූවා යැයි පිළිගැනීමට අපට නොහැකිය. එසේ කියනවා නම් කියනු ඇත්තේ ජාත්‍යන්තර කණ්ඩායම් ගැන නොදන්නා අයයි. මේ වටයේ දී සිදුවූයේ අනෙක් කණ්ඩායම් සිතනවාටත් වඩා හොඳින් ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමයි. එහෙයින් බංග්ලාදේශයට අඩියක් ඉදිරියෙන් තබමින් තරගාවලිය අවසන් කිරීමට හැකි වීම ගැන අප සතුටු විය යුතුය. මෙවැනි තරගාවලියකින් පසුව මේ කණ්ඩායම ආධුනික කණ්ඩායමක්ය, අත්දැකීම් ගන්නවාය වැනි කතා නම් වැදගත් නැත. මේ කණ්ඩායමට දැන් අත්දැකීම් හොඳටම ඇතිය. මේ තරගාවලියෙන් පසුව අපි ඔවුන් අත්දැකීම් යොදා ගන්නා ආකාරය බලා සිටිමු.   
කොදෙව් තරගය දක්වාම කුසල් පෙරේරා අසාර්ථකය. පිතිකරුවෙකු ලෙස මෙන්ම කඩුලු රකින්නෙකු ලෙසද ඔහු අසාර්ථකය. මේ නිසා කුසල් තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට දැඩි වෙහෙසක් ගත යුතුය. ඔහුට ආදේශකය චන්දිමාල් නොවේ. මිනෝද් භානුක, ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ සිතාර ගිම්හාන් වැනි ක්‍රීඩකයෝ මේ වනවිට දේශීය පිටියේ දී දක්ෂතා දක්වමින් සිටිති. එහෙත් අපට සිතෙන්නේ කුසල් පෙරේරාට තර්ජනයක් දිය හැකි හොඳ පිතිකරුවෙකු තමන්ගේ කඩුලු රැකීමේ දක්ෂතාවද පෙන්වමින් එල්.පී.එල්. තරගාවලියේ දී මතු වීමට ඉඩ ඇති බවයි. තරගාවලියේ කණ්ඩායම් නම් කළ පසුව අපට මේ ගැන කතා කළ හැකිය. කුසල් හැරුණු විට අවිශ්ක ප්‍රනාන්දු සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. එංගලන්තයට එරෙහි තරගය භානුක රාජපක්ෂ කල්පනාවෙන් පන්දුවට පහර දුන්නා නම් වෙනසක් කළ හැකිව තිබූ බවයි. මේ තරගාවලියේ එංගලන්ත තරගය තෙක් තමන්ගේ ක්‍රමය අමතක කර අත්දැකීම් ඇති ක්‍රීඩයෙකු ලෙස ක්‍රීඩා කළ භානුක එංගලන්ත තරගයේ තීරණාත්මක අවස්ථාවේ දී එය අමතක කළේය. එහෙත් ඒ පහර ඔහුට විස්සයි 20 අවස්ථාවක් නොලැබීමට හේතුවක් නොවේ. බොහෝ දෙනා අසන්නේ දසුන් ශානක කරන්නේ කුමක්ද කියාය. දසුන් ශානක තමන් පිතිකරුවෙකු බව අමතක කරමින් සිටියි. ඔහු අංක 07 ක්‍රීඩා කළ යුතු අයෙකු නොවේ. ඔහු අංක 06 න් පහළ ක්‍රීඩා නොකළ යුතුය. මේ නිසා ඔහු තමන්ගේ ස්ථානය ගැන කල්පනා කළ යුතුය. දසුන් ශානක තමන් පිතිකරුවෙකු යැයි අමතක කිරීම ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය හමාර වීමට හේතුවක් වන බව අප මේ තීරුවේ ලියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. එංගලන්තයට එරෙහි තරගයේ දී ඔහු නියමිත වේලාවේ පිටියට පැමිණියේය. එහෙත් එක වැරැද්දකින් තරගය ගිලිහුණි. ඒ කෙසේ වෙතත් ඔහු මේ තරගය ආසන්නයට ගෙනාවේ නම් දසුන් ශානක නම් පිතිකරුවා තවමත් සිටින බව අපට හැඟෙන්නට තිබුණි. එළැඹෙන එල්.පී.එල්. තරගාවලියේ දී ලකුණු රැස් කළා කියා ජාත්‍යන්තර පිටියේ ඔහු දක්වන මේ අසාර්ථක බව නැති වෙන්නේ නැත. එහෙයින් දසුන් තමන් ඩැරන් සාමි කෙනෙකු නොවන බව තේරුම් ගත යුතුය. දසුන්ට දිගු ගමනක් තිබේ. එහෙත් වුවමනාවට වඩා නායකත්වය ගැන කල්පනා කරන්නට ගොස් මාවන් අතපත්තු, තිලිණ කණ්ඩම්බි, දිනේෂ් චන්දිමාල් වැනි නායකයන්ට අත්වූ ඉරණම ඔහුට අත්වීමට ඉඩ තිබේ. මේ නිසා දසුන් ශානක නම් පිතිකරුවා ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ශානක කල්පනා කළ යුතුය. අනෙක් ක්‍රීඩකයා චාමිකයි. ඔහුට මේ වනවිට පිතිකරුවකු ලෙස අවස්ථාවන් අඩුවෙමින් තිබේ. ඒ ඉදිරි පෙළ පිතිකරුවන් සහ මැද පෙළ සාර්ථක නිසාය. මෙයින් ඔහු තමන්ගේ ක්‍රමය වෙනස් කර ගත යුතු නොවේ. ඔහු අවස්ථාව ලැබෙන තුරු සිටිය යුතුය. අනෙක් අතින් පන්දු යැවීම උපරිමයෙන් කළ යුතුය. ඔහු පන්දු ඕවර 4 ක් යවන පන්දු යවන්නේකු ලෙස ස්ථාන ගතවිය යුතුය. 15 වැනි ඕවරයෙන් පසුව බියක් නැතිව පන්දු යැවිය හැකි අයෙකු බවට පත්වූ විට දසුන් ශානක පන්දු යැවීම අවශ්‍ය නොවේ. මේ වනවිට ඇතැමුන් කියන්නේ ශානක පන්දු යැවීමේ අවස්ථාව චාමිකට දෙන්නේ නැතැයි කියාය. එහෙත් ශානකට පිතිකරු අංකයක් සොයා ගැනීමත් ඇතැම් විට අපහසු බව අමතක නොකළ යුතුය. අංක 06,07,08 ස්ථානවල තරගයක් වෙනස් කළ හැකි පිතිකරණ හැකියාවක් ඇති ක්‍රීඩකයන් කණ්ඩායමකට ලැබෙන්නේ ඉඳහිටය. ශ්‍රී ලංකාවට මේ වනවිට එය ලැබී තිබේ. අවශ්‍ය වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ කියන කතා අමතක කර ක්‍රීඩා කිරීමයි. මේ නිසා චාමික තමන්ට ලැබෙන සෑම අවස්ථාවකම සූදානම් විය යුතුය. ඔහුට දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලාස්න්ස් ක්ලූස්නර් කලක් කළ චරිතය ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන්නට අවස්ථාවක් තිබේ. අවශ්‍ය වන්නෙ කලබලයකින් තොරව කටයුතු කිරීමයි.   


ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ දෙදෙනා සුදුසුකම් ලැබීමේ වටයේ දී ඉතා හොඳින් පන්දු යැවූහ. එහෙත් අවාසනාවට ප්‍රධාන කණ්ඩායම් හමුවේ මේ දෙදෙනා වරින්වර අසාර්ථක වූහ. අමතක නොකළ යුත්තේ එංලන්තය හමුවේ ළහිරු ලකුණු 44 ක් දෙද්දී චමීර ලකුණු 43 ක් ලබා දුන් බවයි. මේ නිසා ඉදිරියේ දී මෙවැනි වරද හැමවිටම සිදුවීම අවම කර ගත යුතුව තිබේ. මොවුන් හොඳම රිද්මයක සිටියද තරග පීඩනය දැනෙන බව පැහැදිළිය. අවසාන වශයෙන් වනිදු හසරංග ගැන කතා කරමු. ඒ අවම වැරදි ප්‍රමාණයක් කරමින් සිටින්නේ ඔහු නිසාය. ඔහු විස්සයි 20 පන්දු යවන්නෙකු ලෙස සිටින ස්ථානය ඔහුගේ ශ්‍රේණිගත කිරීමෙන්ම පැහැදිලි වෙයි. දැන් ඔහුට හොඳ අවස්ථාවක් ලැබෙන්නේ හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වීමටය. එංගලන්තයට එරෙහි තරගයේ දී ඔහු මඳක් කල්පනා කළා නම් දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී ශම්සි සමග තරග කරන්නට නොගියා නම් ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා නිසා තරග දෙකක් ජයගැනීමට අවස්ථාව තිබුණි. වනිදු දැන් තමන්ගේ කලබල වීම පමණක් හදා ගත යුතුය. ඔහු දක්ෂතා දක්වමින් සිටියදීත් තේරීම් කමිටුවට ඔහුව අමතක වූ කාලයක් තිබුණි. ඒ කාලයේ දී ඔහුගේ දක්ෂතා මතක් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි සියලු‍ දෙනාටම ඔහු සාධාරණයක් ඉටු කිරීම අතිශයෙන් සතුටට පත්විය හැකි කරුණකි.   


ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව තමන්ගේ අභිමානය වෙනුවෙන් ඇෆ්ගනිස්ථානය හමුවේ දියත් කළ සටන අපූරුය. එය ප්‍රබල කණ්ඩායමක ලක්ෂණයයි. එහෙත් ඇෆ්ගනිස්ථානය තවමත් තරගාවලියෙන් විසිවී නැත. ඉන්දියාව මේ වනවිට ස්කොට්ලන්තය හමුවේද මෙවැනිම ප්‍රහාරයක් දියත්කර ඇතුවාට සැක නැත. එයින් පසු නැමීබියාව සමග තමන්ගේ ලකුණු වේගය වැඩිකර ගැනීමට ඉන්දියාව උපරිම උත්සාහ දරනු ඇත. මේ සියල්ල නිසා තරගාවලියේ අවසන් දිනය දක්වාම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන ඉතිරි කණ්ඩායම් දෙක සොයා ගැනීමට බැරි වීම තරගාවලිය සාර්ථක බව පෙන්වයි. කොදෙව්වන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී හෝ යාන්තමින් ජයගෙන ඇත්නම් සෙනසුරාදා පැවැත්වෙන තරග දෙකෙන් අවසන් පූර්ව වටයට යන්නේ ඕස්ට්‍රේලියාවද දකුණු අප්‍රිකාවද යන්න තීරණය වෙයි.


එහෙත් ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන ආකාරයට ඔවුන් අවසන් පූර්ව තරගයකට නොයා ආපසු නොවන ආකාරයක් පෙනෙයි. මේ නිසා සෙනසුරාදා පැවැත්වෙන කොදෙව් - ඔස්ට්‍රේලියා තරගය අතිශය තියුණු වනු ඇත. මේ තරගය ඔස්ට්‍රේලියාව ජයගතහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට හොඳ අවස්ථාවක් උදා වෙයි. එවිට එදින රාත්‍රියේ දී එංගලන්තය හමුවේ ජයග්‍රහණයක් ලැබීම දකුණු අප්‍රිකාවට අනිවාර්යය වෙයි. ඔවුන් සිටින්නේ ද නොතිබෙන ජයක් ලබන රිද්මයකය.  


ඉරිදා ඇෆ්ගන් සහ නවසීලන්ත තරගයෙන් දෙවැනි කාණ්ඩයේ අවසන් කණ්ඩායම කවුදැයි තීරණය වෙයි. නවසීලන්තය ජයගතහොත් ඉන්දියාවේ ගමන අවසන් වෙයි. එහෙත් ඇෆ්ගනිස්ථානය ජයගත හොත් ඉන්දියාවට තමන්ට අවශ්‍ය ලකුණු වේගය දැනගෙන නැමීබියාව පරාජය කර අවසන් පූර්ව වටයට පැමිණීමට අවස්ථාව හිමිවෙයි. ඇෆ්ගනිස්ථානය ඉදිරියට පැමිණීම ක්‍රිකට් ක්‍රීඩාව අතින් යහපත් වුවත් ඉරිදා දිනයේ නවසීලන්තය ජයගෙන තරගාවලිය ආරම්භයේ දී ඔවුන්ට නොතිබුණ අවසන් පූර්ව වටයේ ස්ථානයක් දිනා ගැනීම ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රිකට් ප්‍රේමීන්ගේ කැමැත්ත බව නම් අප දන්නා දෙයකි. එහෙත් ඇෆ්ගනිස්ථානය පෙරළියක් කරන බවට ඇති දැඩි සිතුවිල්ල තවමත් පහව ගොස් නැති බව නම් ලියා තැබිය යුතුය. ඒ අනුව සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යනු අංක ගණිතය උපරිමයෙන් යොදා ගන්නා දින තුනක් වනු ඇත.  

 

 

කාංචන දසනායක