කෝපි සමඟ කේක්



මිහිරි සංගීතයක් ඇහෙන අතර කෝපි කෝප්පයක රස බලන්න කවුරුත් කැමතියි. ඒ විදියට කෝපි කෝප්පයක රස බලන අතර ඒ කෝපි එකට ගැළපෙන කේක් කෑල්ලක රස බලන්න කවුද අකමැති. කෝපි සහ කේක් කියන්නේ එකට කැපෙන දේවල් දෙකක්. හැබැයි ගොඩක් අයට තමන් රස විඳින කෝපි එකට ගැළපෙන කේක් වර්ගය තෝරගන්න ටිකක් අමාරුයි. කෝපි කියන්නේ ටිකක් තිත්ත රසයෙන් යුතු පානයක්. ඒ වගේම තමයි නියම කෝපි කෝප්පයක රස විඳින්න නම් සීනි නොදා කෝපි බොන්න ඕන. නැත්නම් සීනි රස ඉදිරියට ඇවිල්ලා කෝපි රස යටපත් වෙනවා. 

එහෙනම් අපි බලමු අපි බොන කෝපි කෝප්පයට ගැළපෙන කේක් කෑල්ල තෝරගන්නෙ කොහොම ද කියලා. මුලින්ම අපි බලමු අපිට කෝපි අවන්හලක දී දකින්න ලැබෙන කේක් වර්ග මොනවද කියලා. 

  • චොක්ලට් කේක් වර්ග
  • වැනිලා කේක් වර්ග
  • කෝපි කේක්
  • රෙඩ් වෙල්වට් කේක්
  • චීස් කේක්
  • කැරට් කේක්, නට් කේක් සහ පලතුරු කේක්
  • ට්‍රසේ ලෑෂස් (කිරි වර්ග 3ක් යොදා සකස් කළ කේක්)

කෝපි අවන්හල්වල වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ මේ කේක් වර්ග. කෝපි වර්ග ගැන අපි මීට පෙර ලිපියකින් ඔබ හා කරුණු බෙදාගත්තා. සාමාන්‍යයෙන් අපි නිරත බොන කෝපි වර්ග කිහිපයක් එක්ක ඊට ගැළපෙන කේක් වර්ග ගැන අපි මේ ලිපියෙන් කතා කරමු. කේක් කියන්නේ පැණි රස කෑමක්. කේක් වගේ පැණි රස කෑමක් එක්ක තිත්ත කෝපි ගලපෙන්නේ ඒකයි. 

සාමාන්‍යයෙන් කළු කෝපි ලෙස පිළිගන්වන ඇමරිකානෝ, එක්ප්‍රෙසො වැනි කෝපි කෝප්පයක තිත්ත රසය වැඩියි. ඒ වගේ කෝපි කෝප්පයක් එක්ක අයිසින් තැවරූ වැනිලා හෝ චොක්ලට් කේක් කෑල්ලකින් කෝපිවල රසය තවත් වැඩි කරනවා.

චොක්ලට් කේක් සහ බ්‍රවුනීස් කියන්නේ වර්ග දෙකක්. බ්‍රවුනිස්වල ෆජ් බ්‍රවුනි එකක් මෘදුයි. අනෙක් බ්‍රවුනි වර්ගය තරමක් තද ගතියකින් යුක්තයි. වැනිලා කේක් සහ බටර් කේක් කියන්නෙත් වර්ග දෙකක්. වැනිලි රස ගැන්වූ කේක් වැනිලා කේක් ලෙස අප හඳුන්වනවා. ඒ වගේම එහිදී බටර් වෙනුවට බොහෝ අය මාගරින් යොදාගන්නවා. නියම බටර් කේක් නම් බටර් යොදා සකස් කළ කේක් විය යුතුයි. එහිදී ඒ සඳහා යොදගන්නෙත් බටර් රසකාරකයයි. කැපිචිනෝ කෝප්පයක් එක්කත් චොක්ලට් කේක් කෑල්ලක් ගැළපෙනවා. මොකද කැපිචිනෝවලත් තිත්ත රසය මතුවෙන නිසා. නමුත් කැෆෙ මොකා එක්ක හෝ හොට් චොක්ලට් එක්ක චොක්ලට් කේක් වර්ග ගැළපෙන්නේ නෑ. මොක ද එතකොට රස දෙකම චොක්ලට් නිසා. කේක්වලත් බ්ලැක් ෆොරේස්ට් කේක් කියන්නේ සුදුපාටින් විපන් ක්‍රීම් අයිසින් තැවරූ චොක්ලට් කේක් වර්ගයක්. ඒ නිසා කේක් ගන්නකොට පිටත සුදුපාට අයිසින් තිබුණත් ඇතුළත කේක් වර්ගය ගැන සැලකිලිමත් වෙන්න. කෝපි රසයට වඩාත් කැමති අයට කෝපි කේක් සහ කෝපි රස විඳින්න පුළුවන්. එක් එක් කෝපි අවන්හල්වල විවිධ මිල ගණන් යටතේ මේ කේක් ඔබට මිලදී ගන්න පුළුවන්.  

රෙඩ් වෙල්වට් කේක් නම් කෝපි එක්ක එතරම් ගැළපෙන කේක් වර්ගයක් නොවෙයි. රෙඩ් වෙල්වට් කේක් සඳහා සුදු විනාකිරි හෝ ඇපල් විනාකිරි භාවිත කරනවා. ඒ වගේම අයිසින් සඳහා යොදාගන්නේ ක්‍රීම් චීස්, බටර් හා අයිසින් මිශ්‍ර කර සාදාගන්නා අයිසින් වර්ගයක්. නමුත් රෙඩ් වෙල්වට් කේක් එක්ක වුණත් වඩා ගැළපෙන්නේ කළු කෝපි. එහි ඇති අයිසින් තට්ටුව කිරි රසයෙන් වැඩියි. ඒ වගේම පැණි රසයත් වැඩියි. ඒ නිසා කළු කෝපි වැඩියෙන්ම ගැළපෙනවා. සීතල කෝපි කෝප්පයක් එක්කත් රෙඩ් වෙල්වට් කේක් රසයි.

කවුරුත් කැමතියි චීස් කේක් කන්න. ඒ වගේම ඇතැම් අය කියනවා)ඒ චීස් කේක් එක නම් එච්චර රස නෑෆ කියලා. චීස් කේක් බේක් කරන ලද හා බේක් නොකළ ලෙස වර්ග දෙකකින් ගන්න පුළුවන්. ඒ වගේම බ්ලු‍ බෙරි, ස්ට්‍රෝබෙරි හා බ්ලැක්බෙරි ආදි බෙරි ටොපින්, චොක්ලට් ටොපින්, පැෂන් ටොපින්, ලෙමන් ටොපින් සමඟ වගේම කිසිම ටොපින් වර්ගයක් එකතු නොකරත් ඔබට චීස් කේක් ගන්න පුළුවන්. බොහෝ අවස්ථාවල ආහාරයේ නම සඳහන් කරන විට ඔවුන් බේක්ඩ් චීස් කේක්, කෝල්ඩ් චීස් කේක් ලෙස සඳහන් කරන තිබෙනවා. බේක් කරන ලද චීස් කේක් වර්ගයක් විදියට ජැපනිස් චීස් කේක් දකින්න ලැබෙනවා. එය ඉතාම මෘදුයි සහ රසයෙන් වැඩියි. සාමාන්‍යයෙන් මේ වෙද්දි චීස් කේක් කෑල්ලක සාමාන්‍ය මිල රුපියල් 1000 සිට 1700 අතර මිල ගණන්වල පවතිනවා. කෝල්ඞ් චීස් කේක්වලින් වැඩි කිරි රසයක් එනවා. ඒ නිසා කෝල්ඩ් චීස් කේක් එක්ක ටොපින් එකක් තියෙනවා නම් වඩාත් රසයි සහ රස තුලනය වෙනවා. චීස් කේක් ඕරියෝ චීස් කේක්, ලෙමන් චීස්, චොක්ලට් චීස් කේක් සහ ස්ට්‍රෝබෙරි චීස් කේක් ආදී වශයෙන් මිලදී ගන්න පුළුවන්. නමුත් ඒ වගේ විවිධ රසවල චීස් කේක් ගන්න තියෙන තැන් නම් කිහිපයක් විතරයි තියෙන්නේ. ඕනම් කෝපි කෝප්පයක් එක්ක චීස් කේක් රසවිඳින්න පුළුවන්. 

කැරට් කේක්, නට් කේක් සහ පලතුරු කේක් මේ කේක් තරමක් පැණිරසයෙන් වැඩියි. කැරට් කේක්වලින් එන සුවඳ වෙඩින් කේක්වලට සමානයි. නමුත් පළතුරු කේක්වලට වඩා කැරට් කේක් තෙතමනයෙන් වැඩියි. නට් කේක් කියන්නේ කජු, ආමන්ඞ්. වෝල්නට්ස් වගේ දේවල් එකතු කරපු කේක්. තිත්ත කෝපි කෝප්පයක් එක්ක මේ කේක් කෑල්ලක් හොඳටම ගැලපෙන්නේ කෝපිවලට සීනි එකතු නොකර බිව්වමයි.

ට්‍රසේ ලෑෂස් කියන්නේ කිරි වර්ග 3ක් එකතු කරලා හදපු කේක් එකක්. මේ කේක් එක අතින් අරන් නම් කන්න බෑ. මේ කේක් එකේ උඩට ඉතාම සිහින් අයිසින් තට්ටුවක් දාලා තියෙනවා. ඒ අයිසින් තට්ටුව රෙඞ් වෙල්වට් කේක්වල තියෙන අයිසින් තට්ටුවේ රස වගේ රසයක් තියෙන එකක්. ක්‍රීම් චීස්, බටර් හා අයිසින් යොදා සකස් කළ අයිසින් එකක් හෝ විපින් ක්‍රීම් ෆ්‍රොස්ටින් යොදා තිබෙනවා. මේ කේක් එකේ රසය නෙස්ටම් සීරියල් රසයට සමානයි. සම්පූර්ණ යොදය සහිත කිරි, ටින්කිරි සහ වාෂ්පීකරණය කරන ලද කිරි යන කිරි වර්ග තුන යොදාගෙන මේ කේක් වර්ගය සකස් කර තිබෙනවා. මේ කේක්වර්ගය එම කිරි වර්ග තුන එකට එකතු කර, එහි පොගවලයි තියෙන්නේ.  මේ කේක් කෑල්ලක මිල රුපියල් 900ත් 1300ත් අතර මිල ගණන් යටතේ තියෙනවා. 

මීට අමතරව කප් කේක්, මෆින්ස් වර්ගත් කෝපි අවන්හල්වල තියෙනවා. ඒ විතරක් නෙමෙයි ටාට් වර්ගත් අපිට කෝපි එක්ක රස බලන්න පුළුවන්. මුදල් වියදම් කර මිලදී ගන්නා කේක් වර්ගය ගැන හරියට දැනගෙන තෝරගත්තොත් ඔබට එහි රසය උපරිමයෙන් විඳින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කෝපි සහ කේක් කිසිදු කලබලයකනින් තොරව වෙලාව අරන් රසවිඳින්නත් අමතක කරන්න එපා.