පාරක මීටර් දෙක තුනක් කොන්ක්‍රිට් කිරීම, දියකඩනයකට බෝක්කුවක් දැමීම, හෝ කිසියම් වූ රජයකින් ලබා දෙන ප්‍රතිපාදනයකින් ගමක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී මුදල යොදවන දේශපාලුවාගේ සිටම ගසා කමින් අවසන ව්‍යාපෘතියට වෙන් කළ මුදලිනුත් හරි අඩකටත් වඩා අඩු මුදලකින් සිදුවන අවස්ථා බහුලව පවතී. එහි අවසන ලැබෙන ප්‍රගතියේ ද කිසිදු ප්‍රමිතියක් නොමැත.
දේශපාලන අධිකාරියට වඩා ගමේ තරුණයාට ඔවුන්ගේ හැකියාවෙන් යමක් කළ හැකියි. රටේ සංවර්ධනයට තරුණ දායකත්වය ලබා ගත යුතු හොඳම විදිහක ප්‍රායෝගික අරුත් කතනයක් ගෙවුන සතියේ ලොවටම පසක් විය. ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංද වැලිහින්න මහාතාගේ සංකල්පක් අනුව ජාතික තරුණසේවා සභාවත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් එක්ව සංවිධානය කළ “යූත් විත් ටැලන්ට්” වැඩසටහන ලංකාව පුරා යෞවන සමාජ එක්දහස් පන්සීයක් තුළ ක්‍රියාත්මක විණි. තරගාවලියක් සේ ක්‍රියාත්මක වූ එහි අවසාන මහා තරගයේදී හුදකලා වූ ගමකට පාලමක් සෑදීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ජයග්‍රහණය කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ හත්පිටිය රිදීතරු යෞවන සමාජයයි.
ගමට ඵලදායක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන එම වැඩසටහන යටතේ යෞවන සමාජයට තරුණසේවා සභාව තුළින් හිමිවූයේ රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් පමණි. එකී මුදලට ඇවැසි ශ්‍රම දායකත්වය සහ ඇවැසි වෙනත් සම්පත් උපයෝගී කරගෙන මාස තුනක් ඇතුළත ගමට රටට ඵලදායක ව්‍යාපෘතියක් සිය යෞවන සමාජ බලප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම තරුණයන්ට තිබූ අභියෝගය විය. පසුගිය වසරේ අගොස්තු මස මෙවැනි ව්‍යාපෘති 1500ක් ලංකාව තුළ ක්‍රියාත්මක කෙරිණි. එම ව්‍යාපෘතීන් යටතේ සිය වසම්වල ප්‍රජාශාලා ගොඩනැගීම, මාර්ග ඉදිකිරීම, ජල ව්‍යාපෘති සෑදීම, වැව් අමුණු සෑදීම, පාලම් බොක්කු සෑදීම, ක්‍රීඩා පිටි සෑදීම ඇතුලු සංවර්ධන ව්‍යාපෘතීන් රැසක්ම තරුණයන් අතින් සිදුවූයේ ලබා දුන් රුපියල් හැත්තෑ පන්දහසක මුදලේ වටිනාකම දහ පහලොස් ගුණයකින් වැඩි කරවමිනි.
තරුණ සංකල්පයන් අනුව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතීන් අතුරින් හොඳම ව්‍යාපෘති 26ක් දිස්ත්‍රික්ක මට්ටමින් තෝරාගෙන එයින් හොඳම ව්‍යාපෘති දහය විශේෂ ඇගයීමකට ලක්කරවූයේ සිය වසම් සංවර්ධනය කිරීම සඳහා තවත් ලක්ෂ දහයක මුදලක් තරුණයන් අතට පත්කරවමිනි. එයින් පළවැනි ව්‍යාපෘතියට රුපියල් කෝටියක මුදලක් හිමි විය. ඒ අනුව රුපියල් කෝටිය හිමිකරගත්තේ දකුණු පළාතේ නෙළුව, හත්පිටිය රිදීතරු යෞවන සමාජයයි.
ඔවුන් විසින් කරන ලද ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු විමසා බැලීමක් කිරීම රටේ දේශපාලන නායකයන්ට ගම් දනව් සංවර්ධනය කිරීමට ජනතා මුදල් අවභාවිතා නොකර තරුණ දායකත්වය උපයෝගී කරගැනීමේ වැදගත් කමට යම් පාඩමකුත් කියාපානු ඇත. රටේ ක්‍රියාත්මක වූ සියලු තරුණ ව්‍යාපෘතිවල මහන්සියේ වටිනාකම මීට වඩා අඩු වැඩි විය නොහැකි වනු ඇත.
පවුල් 350ක් පමණ පදිංචිව සිටින නෙළුව, හත්පිටිය ගම්මානයේ යෞවන සමාජය ආරම්භ කර දැනට වසර හතක් පමණ වී ඇත. වර්තමානයේ මෙම යෞවන සමාජයේ සභාපති එස්. ඩී. එල්. දිල්කි මධුෂාණි, ලේකම් සඳනි ලහිරුකා, භාණ්ඩාගාරික බී. එල්. ජේ. නිලූ මිතුරියන් තිදෙනායි. සෑම කළුවළාවකම රිදී රේඛාවක් තිබෙන්නා සේ. ගමට හිමි වූ කෝටියේ දැවන්ත ජයග්‍රහණය පසුපස රිදීතරු යෞවන යෞවනියන්ට තිබූ අභියෝග රිදී තරුවක් තරම් සොඳුරු නොවීය. මේ පිළිබඳව යෞවන සමාජයෙන් විමසීමක් කළෙමු.
රිදීතරු යෞවන සමාජයේ භාණ්ඩාගාරික බී.එල්.ජේ. නිලූ මෙනවිය මෙසේ කීවාය.
“අපේ ගමේ අයගේ ප්‍රධාන ජීවන මාර්ගය තේ වගාව. නෙළුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තියන අති දුෂ්කරම ගමක් තමයි හත්පිටිය ගම. ගමේ පවුල් 350 ක් විතර ඉන්නවා. ඒත් ගම එදා ඉඳල හුදකලා වෙලා තිබුණේ. ගමට එන්න තියන පහසුම මාර්ගය තමයි බෙල්ලන ගඟ හරහා තිබුණේ. ඒත් මේ ගම පටන් ගත් දවසේ ඉඳලම ගමේ අයට එගොඩ මෙගොඩ වෙන්න වුණේ ගඟ හරහා තිබුණ ලී දඬු දෙකෙන්. එහෙම නැතිනම් ගඟට බැහැලා. ගංවතුර දවසට තවත් අසරණයි. එදා ඉඳලම ගමට පාලමක් ඕනි කියන සිහිනය තිබුණා. අපේ යෞවන සමාජයේ සභාපති දිල්කිගේ තාත්තා මීට අවුරුදු දහතුනකට විතර කලින් කඬේට ගිහින් එනකොට මෙතන යන්න එන්න තිබුණ දිරපු ඒදණ්ඩ පහළට වැටිල ජීවිතය අහිමි වුණා. එදා ඉඳලම දිල්කිගේ හිතේ මේ පාලමේ ඉලක්කය තිබුණා. මෙතන කොහොම හරි පාලමක් හදන්න ඕනි කියල. ගමට පාලමක් නොවුන නිසා සිදුවුණ අනතුරු නම් කොච්චර ද කියන්න බැහැ.”
රිදීතරු යෞවන සමාජයෙන් රිදීතරු පාලම ගොඩනැගීමට නිමිත්ත වූවේ එයයි. එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැති ගමක් පත්වන දුෂ්කරතාව පිළිබඳව එකිනෙක ඇමිණීමට ඇවැසි නොවන කාරණාවකි. අද එකී දුෂ්කරතාවය ජයගෙන සිරිලකේම වීරවරියන් වී සිටින මෙකී යෞවනියන්ගේ රිදීතරු පාලම සංකල්පයේ කතාව යෞවන සමාජයේ සභාපති දිල්කි මෙනවිය කීවේ ජයග්‍රහයි සතුට පිරි මුහුණෙනුයි.
“රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් ලබා දෙනවා කියල අපේ තරුණසේවා නිලධාරි ඩබ්. සී. දීපාල් සර් අපිට කීවා. මේ ගැන අදහස අපේ යෞවන සමාජයට දැම්මට පස්සෙ සියලු දෙනා එක හෙළාම අනුමත කළා මෙතන පාලමක් හදමු කියල. අපිට මාස තුනක් ඇතුළත රුපියල් හැත්තෑ පන්දහසක් වැනි මුදලකින් පාලමක් කරන්න බැහැ. මේ අදහස වැඩිහිටියෝ අතරට දැම්මම බොහෝ දෙනා කීවා ළමයිනේ මේක කරන්න බැරි වැඩක්. මේව දේශපාලන අධිකාරියෙන් කරන්න ඕනි වැඩ කියල. ඒත් අපේ බලාපොරොත්තුව අතඅරින්නේ නැතුව පාලමේ වැඬේට අතගැසුවා. පාලම ඉදිකරවා ගැනීමේ සිහිනය හැර වෙනත් ජයග්‍රහණයක් හිතේ තිබුණේ නෑ” යෞවන සමාජයේ සභාපතිනි දිල්කි මෙනවිය දැක් වූ අදහසකි.
කිරීමට නොහැකි වුවද කළ යුතුම දෙයකි. තරුණ දරුවන්ගේ සිතුම්පැතුම්වලට කැමැති ආකාරයට අවශ්‍ය සියලු සැලසුම් හදාගෙන පාලමේ වැඩ දියත් කිරීම සඳහා ගමේ වැඩිහිටියන්ගේ ශක්තිය හා ආශිර්වාදය නොවඩුව ලැබිණි. ලක්ෂ පනහකට අධික නිමි වටිනා කමින් යුතු පාලමක් රුපියල් හැත්තෑ පන්දහසකින් කිරීම තියා සිතා ගැනීමටවත් අපහසු කාරණාවකි. දරුවන්ගේ උදාර චේතනාව තේරුම් ගත් ගමේ පෙදරේරුවකු වූ අරුණ උදය කුමාර මහතා සිය ශ්‍රම දායකත්වය පාලම නිම වනතුරුම ලබා දීමට දරුවන් හා එක් විය. පියවරයෙන් පියවර ගොඩනැගීම ආරම්භ කළ ද ගෙනෙන වැලි කොට්ටා ගංවතුරට ගසාගෙන යාම, සැටලින් මුක්කු ගංවතුරට ගසාගෙන යාම ඇතුලු ආපදා රැසකට මුහුණ පෑමට සිදුවිය. ඇතැම් දිනවලදී උදේ පාන්දර ගමේ ජනතාව සමග ශ්‍රම දායකත්වයට එක්වන මේ දියණිවරුන් තිදෙනාටත් දිවා රෑ අව්වැසි නිදිමත නොබලා වැඩ කිරීමට සිදුවිය. තවමත් අධ්‍යාපන කටයුතුවල නිරත වන මේ දරුවන් ඇතැම් දිනවලදී සිය අධ්‍යාපන වැඩද නවතා මේ වෙනුවෙන්ම ගත් වෙහෙසේදී දෙමව්පියන්ගේ දෝෂයන් ඇසීමට සිදු නොවුනා නොවේ. යෞවන සමාජයේ ලේකම් සඳලි ලහිරුකා මෙනවිය කීවේ මෙවැනි අදහසකි.
“ගමේ සෑම ගෙදරකින්ම අපිට ශ්‍රම දායකත්වය ලබා දුන්නා. අපිට මේ වැඬේ දිනන්න හැකි වෙයි කියල කවුරුත් හිතුවේ නෑ. ඔය වැඬේ ඔහොම කරන්න එපා මෙහෙම කරන්න කියල අපිට ගමේ කිසිම කෙනෙක්ගෙන් බලපෑම් ආවේ නැහැ. සම්පූර්ණ යෞවන සමාජයේම අදහසට කිරීමට ගමේ සියලු දෙනා ඉඩ සැලසුවා. පාලමේ වැඩ කිරීමට මුදල් මදිවනකොට ටිකට් පොත් ගහලත් අපේ ළමයි ගිහින් සල්ලි එකතු කරගත්තා.
අපේ තරුණ සේවා සර්, වසමේ ග්‍රාම නිලධාරි ජගත් රංජිත් ත්‍රිමා විතාරණ, නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජානක ගුරුසිංහ, ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය, හත්පිටිය මුණිනන්දනාරාමය, ගම අවට තේ කර්මාන්ත ශාලා, වර්ල් විෂන් ආයතනය, දකුණු පළාත් සභා මංත්‍රීවරුන් වන සුනිල් සේනානායක, චමිල විතානාච්චි, සම්පත් අතුකෝරල, තාරක නානායක්කාර, හිටපු යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සමීර ප්‍රසාද්, නෙළුව යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලයේ සම්පත් චිරාන්, ඩිලාන් ඇතුලු සියලු දෙනා වගේම ගම්වාසීන් මේ වෙනුවෙන් අපිට ශත්තියක් වුණා. ඒ ශත්තිය නිසාම පාලමට සමගාමීව මේ ව්‍යාපෘතිය යටතේම නාන තොටුපළක්, වෙළඳ ආයතනයක්, සංවාද මණ්ඩපයක්, රිදීතරු මාවත නමින් මාර්ගයකුත් හදාගන්න පුලුවන් වුණා. මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ ජාතික තරුණසේවා සභාවේ සභාපති එරංද වැලිහිංගගේ මහතා ඇතුලු ජාතික තරුණසේවා සභාවේ සියලු නිලධාරිතුමන්ලට වගේම ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයටත් අපේ යෞවන සමාජයේ ස්තුතිය පිරිනමන්නත් ඕනි.”
රුපියල් හැත්තෑ පන්දහසකින් ලොවක් දිනූ මේ යෞවනියන්ට ලැබී ඇති මුදල කෝටියකි. සිය යෞවන සමාජ බලප්‍රදේශයට අයත් රිදීතරු යොවුන් මාවත කොන්ක්‍රිට් කිරීම, හත්පිටිය විදුහලේ මාධ්‍ය ඒකකය සෑදීම, මුණිනන්දනාරාමයේ බුදුමැදුර ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රජා පුහුණු මධ්‍යස්ථානයක් සෑදීම, හත්පිටිය ගම්මානය රිදීතරු යොවුන් ආදර්ශ ගම්මානය ලෙස ලෝකයට එක් කිරීම ඇතුලු සංවර්ධන සැලසුම් රැසක් මේ දිරිය දියණියන්ගේ සිතේ තිබේ.
සටහන / ඡායාරූප
චාමින්ද දිසානායක