දෙතොල් ආලේපනයෙන් ලෝකයම ඇල්ලූ නිරූපිකාවගේ කතාව


ප්‍රකට සමාගම්  ලොව දිනූ හැටි...

  • වයස අවුරුදු 23යි.  
  • 2020 දී ලෝකයේ ලාබාලතම බිලියනපති ව්‍යාවසායිකාව.  
  • ලෝකයේ ජනප්‍රිය නිරූපිකාවක් සහ රූපවාහිනි තරුවක්  
  • සමාජ මාධ්‍යයේ බැබලෙන තාරකාවක්   
  • ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ ඇය සොයා ඇති පිරිස මිලියන 182කට වඩා වැඩියි.  
  • අක්කා කෙන්ඩල් ජෙනර් ලෝකයේ වැඩිම මුදලක් අය කරන නිරූපිකාවක්,   
  • එදා ඇයගේ පියා වූ ඔලිම්පික් දශප්‍රයාම ශූර තාත්තා, අද කාන්තාවක්?  

කාන්තාවන්ගේ තොල්පෙති මත ආලේපන තැවරූ පසු, තොල්පෙති දිස්වෙන්නේ පාට පාට මල් පෙති මෙනි. එනිසාම දෝ කාන්තාවන් තොල්මත ලිප්ස්ටික් ගෑමට හෙවත් ආලේපන තැවරීමට බොහෝ සෙයින් මනාප බව පෙනී යයි. තොල් ආලේපන හෙවත් ලිප්ස්ටික්, රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ දී අද කාන්තාවන්ට නැතුවම බැරි දෙයකි. යුරෝපයේ සහ ලෝකයේ බොහොමයක් රටවල වත්මනෙහි තොල් ආලේපන යනු ආලේපනයකට එහා ගිය විලාසිතාවකි. ඒවා ලිප්ස්ටික් විලාසිතා ලෙස නම් කළ හැකිය. 

 

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අප විස්තර කිරීමට සූදානම් වෙන්නේ, ලිප්ස්ටික් කූරකින්​ ලෝකයම ඇල්ලූ කයිලි කොස්මෙටික්ස් රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනය සහ ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ගැන වූ කතාව පැවසීමටය.   


සුරූපී කයිලි ජෙනර් යනු 2020 වන විට ලෝකයේ ළාබාලතම, එනම් වයස අවුරුදු 23 සීමාවේ සිටින අංක එකේ බිලියනපතිනිය වන්නීය. කයිලි යනු ලෝක ව්‍යවසායිකාවක පමණක්ම නොවේ. ඇමෙරිකාවේ, සිටින විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ තාරකාවක මෙන්ම, විලාසිතා නිරූපිකාවක සහ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින අතිශය ජනප්‍රියත්වයට පත් තුරුණු සුරූපිනියකි.   


බොලිවුඩ් සහ හොලිවුඩ් තරුවකට වඩා ඇය ජනප්‍රිය බව කිව හැකිය. ඇයගේ ඉස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ ඇයව ලුහුබැඳ ඇති පිරිස මිලියන 182ක් පමණ වේ. ඇය කොතරම් ජනප්‍රිය ද යන්න එයින් මැන ගත හැකිය.  


දිගු ඉතිහාසයක් නැතත්, වසර කිහිපයක් ඇතුළත දී ලෝ ප්‍රකට වූ කයිලි කොස්මෙටික්ස් සමාගම මොන වගේද? ඊට පෙර සුරූපී කයිලිගේ විස්තර මුලින්ම අපි කියවමු.  


කවුද මේ කයිලි ජෙනර්? 

 
සුරූපී කයිලි ගැන විස්තර කිරීමට පෙර, ඇයගේ මව සහ පියා ගැන විස්තර කිරීම වඩා හොඳය. වෙසෙසින්ම ඇයගේ පියා ගැන විස්තර දැන ගත් පසු ඔබ විශ්මයට පත්වේවි. ඊට හේතුව අතීතයේ දී ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩා තරුවක වූ ඔහු අද සැත්කමකින් පසුව කාන්තාවක බවට පත්ව සිටී. එදා 1976 දි ගිම්හාන ඔලිම්පික් උළෙල නියෝජනය කළ ඔහු ලෝ ප්‍රකට වූවේ බෲස් ජෙනර් නමින්ය.  


එදා පිරිමියකු වූ බෲස් අද ගැහැණියක වී හැඳින්වෙන්නේ කේට්ලීන් ජෙනර් යනුවෙනි. අද ගැහැණියක වුවද කයිලිගේ පියා වෙන්නේ කේට්ලීන් ජෙනර්ය. ඇය ලිංග විපර්යාසයකට නතු වූ හැටි සහ එදා 1976 දී ගිම්හාන ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් දශප්‍රයාම ඉසව්වට තරග වැදුණු අතීතය මොන වගේද කියා මොහොතකට අපි දැන ගනිමු.  


විලියම් බෲස් ජෙනර් උපත ලැබුවේ 1949 ඔක්තෝබර් 28 වැනිදා නිව්යෝර්ක් හිදීය. පාසල් සමයේ දී බැබලුණු පාපන්දු තරුවක් විය. 1972 දී පමණ දශප්‍රයාම ඉසව්ව නියෝජනය කරමින් මලල ක්‍රීඩා පිටියට පිවිසියේය. එහි ස්වර්ණමය ඵල නෙළා ගැනීමට ඔහුට හැකි වූයේ 1976 දී පැවැති මොන්ට්‍රියල් ගිම්හාන ඔලිම්පික් උළෙලේ දීය. ඊට පෙර සිටම ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටිය ආක්‍රමණය කර සිටි, බෲස් සුවිශේෂී ජයග්‍රහණ රැසකට උරුමකම් ලද චරිතයකි. එවකට ඇමෙරිකාව ඔහු හැඳින්වූයේ ‘‘ඇමෙරිකාවේ වීරයා’’ යනුවෙනි. එමෙන්ම ලෝකයේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා ලෙස (දශප්‍රයාම ඉසව් නිසා) නිල නොලද නාමයකින් ජනතාව ඔහු හැඳින්විය.  


ළමා කාලයේ දී කථනය සහ කියවීමට අපොහොසත්ව සිටි නිසා ඒ වෙනුවෙන් ශල්‍ය කර්මයකට පවා මුහුණ දී ඇත. ඔලිම්පික් පිටියේ වාර්තා රැසක් තබමින් ඉදිරියට ගිය බෲස්, උපාධිධරයකු වීමෙන් අනතුරුව, ක්‍රිස්ටි ක්‍රව්නෝවර් සමඟ විවාහ වී කැලිෆෝර්නියාවට ආයේය. මේ විවාහය පැවැතියේ 1981 දක්වා පමණෙකි. බර්ටන් පුතු සහ කැසැන්ඩ්‍රා දියණිය එම විවාහයේ දරුවන්ය. 1981 ජනවාරියේ දික්කසාද වූ බෲස් ජෙනර් එම වසරේදීම හොලිවුඩ් තාරකාවක වූ ලින්ඩා තොම්සන් සමඟ විවාහ විය. බ්‍රැන්ඩන් සහ සෑම් එම විවාහයෙන් ලද පිරිමි දරුවන් වේ. 1986 සිට ‘‘බෲස් සහ ලින්ඩා’’ වෙන් වී වාසය කිරීමට කටයුතු කර තිබිණි. ඉන්පසුව නීත්‍යානුකූල දික්කසාදය ලබාගත් අතර, බෲස්, නැවතත් විවාහ විය. එවර විවාහ වූයේ, රූපාවාහිනි ක්ෂේත්‍රයේ චරිතයක මෙන්ම, ව්‍යවසායිකාවක වූ ‘‘ක්‍රිස්ටන් මේරි’’ සමගය. ඊට පෙර ක්‍රිස්ටන් විවාහ වී සිටියේ නීති ක්ෂේත්‍රයේ මෙන්ම, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ චරිතයක් වූ රොබට් ජෝජ් කාර්ඩෂියන් සමගය. ලෝ ප්‍රකට නිරූපිකාවක, සමාජජාලා චරිතයක, මෙන්ම ව්‍යාපාරික තාරකාවක වන කිම් කාර්ඩෂියන්, කූර්ටිනි, ක්ලොව් යන ප්‍රකට දියණියන් තිදෙනා ක්‍රිස්ටන්ගේ පෙර විවාහයේ දරුවෝ වෙති.  


බෲස් ජෙනර්, ක්‍රිස්ටන් හෙවත් ‘‘ක්‍රිස්’’ සමඟ විවාහ වූයේ 1991 දීය. ​ෙකන්ඩල් සහ කයිලි දියණියන් දෙදෙනා එම විවාහයෙන් ලද දරුවන්ය. ලිංග සැත්කමකට ලක්වීමට පෙර ‘‘බෲස්’’ දරුවන් සය දෙනෙකුගේ පියෙකු වූ බව සඳහන් කළ හැකිය. 2015 දී ක්‍රිස්ටන්ගෙන් ද දික්කසාද වූ බෲස් ජෙනර්, කාන්තාවක වීම වෙනුවෙන් වූ ශාරීරික සැත්කමකට මුහුණදුන් අතර, 2016 දී පමණ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පටන් ගත්තේය.  


රියැලිටි කතා මාලාවක රඟපාමින් සහ නිරූපණයට ද එක්වෙමින් ‘‘මම කේට්ලින් ජෙනර්’’ ලෙස ඇය පවසා සිටියාය. අද මේ ‘‘කේට්’’ ලොව ජනප්‍රිය තාරකාවකි. එදා ඔලිම්පික් වාර්තා අතර සිටි ලෝ ප්‍රකට වූ බෲස් හෙවත් කේට් අද අපේ මේ කතාවේ කතා නායිකාව වන කයිලිගේ ආදරණීය පියාය. පියා වුවද අද ඔහු කාන්තාවකි. කයිලිගේ මව්පියන්ගේ කතාව එලෙසින් අරුම පුදුම වූ අපූරු කතාවක් වෙන්නේය. එ් අරුම පුදුම වූ කතාවේ අපේ කතා නායිකාව වන ‘‘කයිලි’’ මොන වගේද?  


කයිලි ජෙනර්ගෙ ගමන් මග.  


කයිලි ක්‍රිස්ටන් ජෙනර් ඇයගේ සම්පූර්ණ නාමයයි. ඇය උපන්නේ 1997 අගෝස්තු 10 වැනිදාය. සියරා කැනියන් පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන අතරේ, ප්‍රජා නාට්‍ය කණ්ඩායම හා බැඳී නාට්‍ය රංගනයට ද එක්ව සිටියාය. ඊටත් වඩා ඇය උනන්දු වූයේ තම පාසලේ විවිධ ඉසව් සඳහා සහභාගිවෙන්නත් දිරිගැන්වීමේ සාමාජිකාවක හෙවත් ‘‘චියර් ලීඩර්ස්’’ ලෙස කටයුතු කිරීමටය. කෙසේ වෙතත් පාසල් අධ්‍යාපනයට වඩා   නිවසේ සිට  අධ්‍යාපනය ලැබීමට වඩා උනන්දු වූ බැවින්, එලෙසින් අධ්‍යාපනය ලබන ස්ථානයක සිට අධ්‍යාපනය කළාය. ලෝරල්ස්ප්‍රින්ග්ස් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා පිටව ගියේ වැඩි ඈතක දී නොවේය. 2015 වසරේ දීය. රූපවාහිනි තිරයට ඇය පිවිසියේ ඊටත් පෙර දීය. එනම් 2007 දී පමණ ඇයගේ ඥ‌ාති සබඳතා ඇති, සහෝදර සහෝදරියන් සහ මව්පියන් සමඟ, ඔවුන්ගේ පවුලේ විස්තර හෙළිදරාත්මක කළ වැඩසටහන් මාලාවක් සමගය. ඉනික්බිතිව කයිලි ඇයගේ සුළු සහෝදරියක වන සිරුරේ සහ නිතඹේ හැඩය නිසා ලොවක් වසඟයට ගත් කිම් කාර්ඩෂියන් සමඟ එක් වී නිරන්තරයෙන්ම රූපවාහිනි වැඩසටහන්වලට එක් වූවාය. ඒවා අතිශයින් ජනප්‍රිය වූ බව පැවසිය හැකිය. ඊට අමතරව තරු සමඟ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වූ කයිලි මියුසික් වීඩියෝවලට පෙනී සිටීම නිසා ද අතිශය ජනප්‍රියත්වයට පත් වූවාය.  


මේ සියල්ලට පෙර කයිලි ඇයගේ සහෝදරිය වන කෙන්ඩල් සමඟ එක්ව ‘‘කෙන්ඩල් ඇන්ඩ් කයිලි’’ නමින් විලාසිතා සන්නාමයක් යටතේ විලාසිතා නිර්මාණ පෙළක් හඳුන්වා දුන් අතර ජැක්සන් නම් වූ විලාසිතා ආයතනය හා එක්ව ඒවා වෙළෙඳපොළට හඳුන්වා දී තිබිණි.   


2015 දී ‘‘කයිලි ලිප් කිට්ස්’’ නමින් තොල් ආලේපන නිෂ්පාදනයක් හඳුන්වාදීමට කයිලි හට හැකිවිණි. මේ අතරවාරයේ දී ජංගම දුරකථන සඳහා ‘‘ඇප්’’ (App) එකක් හඳුන්වා දුන්නේ සංගීතයට ප්‍රිය කරන රසවතුන් උදෙසාය. ඇපල් දුරකථන ඔස්සේ සංගීතය රසවිඳින රසවතුන් අතර එය අතිශය ජනප්‍රියත්වයට පත් ඇප් (App) එකක් බවට පත්විණි.   

 


තුරුණු ‘‘කයිලි’’ විවිධ දේ ඔස්සේ ආර්ථිකය සරු කර ගන්නට උපන් හපනියක බව මේ සියල්ල වෙතින් පෙනී යන දෙයකි. කයිලි මෙලෙසින් යෞවනයේ සිට විවිධ දේ කිරීමට පෙළැඹුණේ, ඇයගේ වැඩිමහල් සහෝදරිය වන සුරූපී කෙන්ඩල් සමඟ එක්වය. කෙන්ඩල් ගැන ද කතා නොකරම බැරිය. ඇය ලෝකයේ අංක එකේ නිරූපන ශිල්පිණියකි. 1995 දී උපන්න කෙන්ඩල් ඇමෙරිකාවේ රූපවාහිනි ක්ෂේත්‍රයේ නියැලී සිටින තාරකාවියක වන්නීය. ඇය ද නිරූපන ක්ෂේත්‍රයට පිවිසියේ වයස අවුරුදු 14දීය. ලෝ ප්‍රකට විලවුන් නාමයක් වන ඇස්ට්ලෝවිඩර් සන්නාම තානාපතිනිය වන්නේ ඇයයි. එමෙන්ම විලාසිතා ලෝකයේ තෝතැන්න වූ ප්‍රංශය ප්‍රමුඛ බටහිර රටවලට අද ඇය නැතුවම බැරි චරිතයකි.   


ලෝ ප්‍රකට වෝග් ඇතුළු විලාසිතා සඟරාවලට ද ‘කෙන්ඩල්’ අතිශය වැදගත් නිරූපිකාවකි. වයස අවුරුදු 14 සිට මෙලෙසින් කටයුතු කරමින් ධනය ඉපැයීමට සමත් වූ ඇය ෆෝබ්ස් සඟරාව 2019 දී සඳහන් කළේ ලෝකයේ වැඩියෙන්ම ආදායම් උපයන නිරූපිකාවක ලෙසය. වාර්ෂිකව ඇය විසින් නිරූපණයෙන් පමණක් උපයන මුදල ලෙස සඳහන් වෙන්නේ ඩොලර් මිලියන 4කි.  


වසර පහකට පමණ පෙර දී මෙම අක්කා-නගෝ දෙපළ ලෝකයේ බලගතුම යෞවනයන්ගේ ලැයිස්තුවට ලෝ ප්‍රකට ටයිම් සඟරාව සඳහන් කර තිබිණි. කෙන්ඩල් ඇන්ඩ් කයිලි කලෙක්ෂන් නමින් විලාසිතා මෙන්ම ස්වර්ණාභරණ පෙළක් හඳුන්වා දීමට ද මේ දෙදෙනා සමත් වූ අතර, ඇමෙරිකාවේ ඇති ප්‍රකට විලාසිතා අලෙවි ආයතනයක් වන ජැක්සන් ආයතනය හා එක් වී කටයුතු කර තිබේ.   


මෙලෙසින් කටයුතු කරමින් සිටින අතරේ කයිලි ප්‍රකට අනතර්ජාල අලෙවි ජාලයක් වන ඊ-බේ ඔස්සේ ගිණුමක් ඇරඹියේ, තරමක් පරණ වූ ඇඳුම් විකිණීම වෙනුවෙනි. එයින් ලැබෙන ආදායම ඇය රැස් කළේ සමාජ සත්කාර උදෙසා වැය කිරීම වෙනුවෙනි. ලොස්ඇන්ජලීස්හි, ළමා රෝහල වෙත බොහෝ විට එම අරමුදල් ඇය පරිත්‍යාග කළාය. තමාගේ ව්‍යාපාරයට අමතරව, ඇය විවිධ සත්කාර අරමුදල් සඳහා වූ බොහෝ ඉසව්වලට දායක වී සිටින අතර, ඒවායින් ලබන සහ ප්‍රදානය කෙරෙන මුදල්, විවිධ පුණ්‍ය ආයතන හා ආයතන වෙත ලබා දීම ඇයගේ ජීවන සිරිතක් බවට පත් කර ගෙන සිටින්නීය. අක්කා කෙන්ඩල් ද මේවාට දායක වන්නේ නැගණිය අනුගමනය කරමිනි.  


කයිලි යනු නොකරන දෙයක් නැති තරම් තරුණියකි. පුංචිම වයසේ දී නිරූපණය පටන් ගෙන, විලාසිතා සහ ස්වර්ණාභාරණ කට්ටල නිපදවා, පසුව තොල් ආලේපන සහ රූපලාවන්‍ය නිෂ්පාදනයට පිවිසි ඇය, රූපවාහිනි නිවේදිකාවක, සංගීත ප්‍රසංග වැනි ප්‍රාසාංගික ඉසව් මෙහෙයවීම, රඟපෑම වගේම කළ හැකි බොහෝ දේට දායකව සිටින චරිතයකි. කෙන්ඩල් අක්කා සහ මේ නැගණිය මේ සියල්ල කරන්නේ තරගයකට මෙනි.  
කයිලි රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන ඇරඹීම.  


කයිලි ජෙනර්, තමාගේ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනය ආරම්භ කළේ 2014 වසරේ දීය. ඇයගේ මව වන ක්‍රිස් හෙවත් ක්‍රිස්ටන් ජෙනර් සමඟ එක්ව මෙම රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනය දියත් කළේ එදා කයිලි ලිප් කිට්ස් යන නම වෙනුවට කයිලි කොස්මෙටික්ස් යන නාමය යොදා ගනිමිනි. ආරම්භයේ දී ඇමෙරිකාවේ තවත් රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි ආයතනයක් වන සීඩ් බියුටි, කයිලිගේ සමාගම සමඟ අත්වැල් බැඳගෙන සිටි බව සඳහන් කළ හැකිය. ආරම්භයේ දී කයිලිගේ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනය සතුව සිටි සේවක පිරිස ලෙස සඳහන් වෙන්නේ 12 දෙනෙකි. ඉහත සඳහන් කළ සීඩ් රූපලාවන්‍ය අලෙවි ආයතනය සතු වූයේ කයිලිගේ අර්ධ සහෝදර- සහෝදරියන් වූ ජෝන් සහ ලෝරා හටය.   


පළමුව තොල් ආලේපන සහ තොල් හැඩකරන රූපලාවන්‍ය නිෂ්පාදන 15000ක පමණ ප්‍රමාණයක් සීඩ් ආයතනය හා එක්ව වෙළඳපොළට යොමු කළ අතර, කයිලි ජෙනර්හට ඒ වෙනුවෙන් ඩොලර් 2,50,000ක මුදලක් වැය කිරීමට සිදු විණි. නිරූපණයෙන් එක් රැස් කර ගෙන තිබූ මුදල් එලෙසින් ඇය මේ වෙනුවෙන් වියදම් කළාය. පහළොස් දහසකින් නිෂ්පාදන වෙළෙඳපොළට දියත් කළ පසු ඒවා අලෙවි කෙරුණේ උණු කැවුම් මෙනි. එනිසා ලක්‍ෂ පහක පමණ නිෂ්පාදන ඉතා ඉක්මනින් වෙළෙඳාම වෙත යොමු කිරීමට සමාගමට හැකිවිණි.  
ඒවායෙහි විශේෂත්වය වූයේ ලිප්ස්ටික් කූරට අමතරව, බ්‍රෂ් එක, ලිප්බාම්, දිස්නය ගෙන දෙන ආලේපනය, තොල්පෙති හැඩ ගැන්විය හැකි පින්සල් ආදී අංග සම්පූර්ණ තොල් පෙති හැඩ කළ හැකි රූපලාවන්‍ය කට්ටලය එක ගොනුවක් ලෙස තිබීම නිසාය. 2016 වෙන විට පමණක්, ශුද්ධ ආදායම ලෙස ඩොලර් මිලියන 300ක් උපයා ගැනීමට මේ නිසා කයිලිගේ රූපලාවන්‍ය සමාගමට හැකිවිණි.  


විවේචන  


ව්‍යාපාර කටයුතු ද සමාජ සේවය ද ඇතුළු බොහෝ දේ කරමින් තරුවක වී සිටිය ද කයිලි හට විවිධ චෝදනා ද එල්ල විය. ‘‘මෙයාට තියෙන්නෙ උපතින් ඇය සතු වූ තොල්පෙති නොවේ, ඇයගේ ‘තොල්’ සිහින්. එහෙත් ලිප්ස්ටික් ගැල්වීම සහ ඒ මගින් ලොකු ආකර්ශනයක් ගැනීම වෙනුවෙන් එයා ‘ලිප්ස්’ (තොල්) රූපලාවන්‍ය ක්‍රම මගින් වූ සැත්කම් වෙතින් හදාගෙන’’ යනුවෙන් චෝදනා එල්ල වුයේ කයිලිගේ තොල්- කාගේත් ආකර්ශනයට නතු වූ නිසාය.  


ඇයගේම තොල්පෙති ආලේපන දැන්වීම වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් සමහර විට ඇය මෙලෙසින් තොල්පෙති නවීන තාක්‍ෂණ ක්‍රමවේදයන් භාවිතා කොට වඩවා ගන්නට ඇත. මෙවැනි දේට අමතරව බදු ගෙවීමේ දී සහ සමාගමේ ආදායම්- වියදම් වාර්තා පෙන්වීමේ දී ඒවා නිරවුල් නොවූ බවට ද ඇය හට එල්ල වූ චෝදනාය. අප්‍රිකානු සහ ඇමරිකානු සංස්කෘතික ශෛලීන් භාවිතා කිරීම මෙන්ම වතාවක බඩ ඉරිඟු කරලක හැඩයට, අප්‍රිකානු සංස්කෘතියට අදාළ වූ කොණ්ඩා මෝස්තරයක් වෙතින් සමාජ ජාලාවල පෙනී සිටී යැයි කියා ද ඇයහට චෝදනා එල්ල වුණි.  


එමෙන්ම NYC වෙළෙඳ නාමයේ විලාසිතා රටා යොදා ගෙන පිහිනුම් ඇඳුම් නිෂ්පාදනය කළේ යැයි කියා ද ඇයට එරෙහිව NYC සමාගම නීතිය ක්‍රියාත්මක කර තිබිණි. තවත් වතාවක ​ලෝ ප්‍රකට ඔස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය සම්බන්ධයක් ඇති පොප් ගායිකා මෙන්ම නිළියක වන ‘කයිලි මිනෝ’ ගේ නාමය වෙළෙඳ නාම සඳහා යොදා ගත්තේ යැයි කියා පොප් කුමරිය ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන කයිලි මිනෝ, මෙම කයිලි ජෙනර්ට එරෙහිව නඩු මගට පිවිස සිටියාය. ඉන් ජයගන්නේ පොප් ගී තරුවය. කෙසේ වෙතත් ඒ වෙන විට වයස විස්සෙ පමණ සීමාවේ පසුවූ කයිලි ජෙනර්, වයසට වඩා දෙගුණයකින් ජීවිතයේ පන්නරය ලබා සිටි තරුණියක වූවාය. 

 
පුද්ගලික ජීවිතය  


අවුරුදු 23ක් පමණ වෙන විට, ලෝක චරිතයක් වූ කයිලි ජෙනර් ෆෝබ්ස් සඟරාව නම් කළේ වයස 21 දී ස්ව උත්සාහයෙන් ජීවිතය ජයගත් හොඳම තරුණිය ලෙසය. ඊට අමතරව පසු වසරක දී ලෝ ප්‍රකට ෆෝබ්ස් සඟරාවේ මුල්පිටුව සැරසීමට ඇයගේ ඡායාරූපයක් යොදාගෙන තිබිණි. දැන් ඇයගේ වයස අවුරුදු 23කි. මේ 23ට ඇය කර ඇති දේ නම් විටෙක පුදුම සහගතය. වයස 17 දී ඇය අක්කා වන කෙන්ඩල් සමඟ එක්ව ප්‍රබන්ධ නවකතාවක් රචනා කළාය. Rebels city of Indra ලෙක්ස් සහ ලිවියා නම් වූ තරුණියන් දෙදෙනෙකු වටා ගොනුකර ලියූ එය, විටෙක මේ අක්කා නගාලාගේ චරිතවලට සාපේක්‍ෂ විය. එය ප්‍රකාශයට පත් කර මාස තුනක් ඇතුළත දී පමණක් පිටපත් 13,000ක් අලෙවි වී තිබිණි.  


වයස අවුරුදු 23ක් වන ලෝකයම අල්ලා ගත්, කයිලිගේ පෙම් සබඳතා ගැනත් සඳහන් කළ යුතුය. මුලින්ම ඇය ඇමෙරිකානු රැප් තරුවක සහ නළුවකු වන ‘ටයිගා’ සමඟ 2014 සිට ප්‍රේමයක වෙලී සිටියාය. 2017 දී තවත් ගායකයකු මෙන්ම රැප් තරුවක් වන ට්‍රැවිස් ස්කොට් සමඟ 2019 දක්වා ජීවිතය ගත කළ ද ඔහු සමඟ කයිලි විවාහ වී නොසිටියාය. එහෙත් ඔහුට දාව කයිලිහට දියණියක සතුය. දෙහැවිරිදි ඇයගේ නම ස්ටෝමි වෙබ්ස්ටර්ය. වයස අවුරුදු 23දී ලෝ ප්‍රකට ව්‍යවසායිකාවක, නිළියක, රූපවාහිනි තාරකාවක, නිරූපිකාවක, මවක, සමාජ සේවිකාවක යන බොහෝ භූමිකාවලට මැදි වූ කයිලි ජෙනර්ගේ ජීවිතය මහා පුදුමාකාරයි නේද?

 

 

පරිවර්තන සටහන  
සඳුන් ගමගේ