ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ආගම, ජාතිය, නිලතල, මිල මුදල් කිසිවකට ළංවීමට ඉඩ නොදී ලොවම වෙලාගත් වයිරසයෙන් අප අසරණ කර ඇත්තේ අපගේ සමීපතමයන් සේම අනිකුත් පිරිස් කොරෝනා මාරයා රහසේ රැගෙන යමිනි.
කොරෝනාවෙන් ජන ජීවිත බේරාගැනීමට කැපවූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද මේ වනවිට දරුණු වයිරසයට බිලි වෙමින් පවතී.
ආණමඩුව අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කළ වසන්ත ජයසූරිය මහතා ඉකුත් සතියේ කොරෝනා මරුවා සමග සටන් කරමින් මෙලොව හැරගියේ ආණමඩුවේ මිනිසුන්ගේ නෙතට කදුළු එක් කරමිනි.
වෛද්‍ය ජයසූරිය මහතා ආණමඩුව අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ලෙස 2020 වසරේ දෙසැම්බර් 4 වැනි දින වැඩ භාරගෙන තිබුණි.
මීගමුව මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවය කළ වසන්ත ජයසූරිය මහතා ආණමඩුවට මාරුවීම් ලැබ තිබුණේ ඔහුගේ ඉල්ලීමකට නොවූ අතර එයින් කලකිරීමෙන් ඔහු ආණමඩුවට පැමිණ තිබුණ ද දින කීපයක් ගත වෙද්දී ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සියලු දෙනාගේම ආදරයට පාත්‍ර විය.
කාගේත් සිත් ගත් වසන්ත ජයසූරිය මහතා දරුවන් දෙදෙනකුගේ පියකු වූ අතර ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු විය.
කාගේත් සිත් ගත් ඔහු රෝගීන් සුවපත් කරමින් රෝගීන්ගේ මනස සුවපත් කරමින් සේවය කළ සැබෑම මානව හිතවාදියකු විය.
ඒ සියල්ල පරාජය කරමින් මෙම හිත හොඳ වෛද්‍යවරයා කොරෝනා මාරයාට බිලි වී අවසන්ය.
මේ අතර පුත්තලම වෙප්පමඩුවේ එකම නිවසේ වාසය කළ පියා, මව සහ දියණිය කොරෝනාවෙන් මරණයට පත්ව තිබුණේ වයිරසයේ දරුණුකම කියා පාමිනි.
මෙසේ මරණයට පත්ව තිබුණේ පුත්තලම වෙප්පමඩුව ගම්මානයේ පදිංචිව සිටි 56 හැවිරිදි පියා, 51 හැවිරිදි මව හා 37 හැවිරිදි දියණියයි.
පසුගිය 4 වැනි දින හදිසියේ පියා නිවසේදීම මරණයට පත්ව තිබූ අතර දියණිය 6 වැනි දින අලුයම පුත්තලම මූලික රෝහලට ඇතුළත්ව පැය කීපයකින් මරණයට පත්වූවාය. දියණිය මරණයට පත්වී පැය කීපයක් ගත වන්නටත් පෙර මව නිවසේදී ඇද වැටී මරණයට පත්වූවාය.
මේ සිදුවීමෙන් ඔවුන්ගේ ඥාතීන් මහත් කම්පනයට පත්ව සිටින අතර මරණයේ වේදනාව සියලු දෙනා හමුවේ මේ වනවිට පසක් කර තිබේ.
කොරෝනා එතරම්ම දරුණුය. සියල්ල හමුවේ ආරක්ෂා වීම හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බව ජනතාව තවමත් තේරුම් ගෙන තිබේදැයි සැක සහිතය.
සටහන/ ඡායාරූප
පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ