පොල් මිල වැඩි වෙන්නේ ඇයි ?



ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග මොනවාදැයි විමසූ සැනින්  තේ, පොල්, රබර් යැයි කීමට කාගෙත් කටට ආ පිළිතුරු ගිල ගැනීමට කාලය උදාවෙමින් තිබේ. මන්දයත් අද වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල ඇසූ විට පාරිභෝගිකයාට එලොව පොල් පෙනෙන තරමටම වර්තමානයේ මිල ඉහළ ගොස් ඇති නිසාවෙනි. අද පොල් ලංකාවේ වගා කරන දෙයක් නොවේදැයි සිතෙන තරමටම පොල් ගෙඩියක මිල ඉහළය. රුපියල් හැත්තෑවට අසූවට තිබූ පොල් රුපියල් එකසිය හතළිහට පවා ඇතැම් ප්‍රදේශවල අලෙවි වෙන්නේ තවමත් සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ජනතාවගේ බඩට ද තට්ටු කරමිනි. ලොව පොල් පරිභෝජනය අතින් ඉහළම තැනක සිටින මෙරට සිටින, පොල් නිෂ්පාදන තම ජීවනෝපාය කරගත් ජනතාව, මේ තත්ත්වය හේතුවෙන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවකටය. 
ඒ අනුව මෙම පොල් මිල ඉහළ යාමට බලපෑ හේතු ලෙස පොල් වගාව සඳහා භූමිය අඩු වීම, දේශගුණික විපර්යාස සහ වියළි කාලගුණය, නිෂ්පාදන වියදම් ඉහළ යාම, ගෝලීය වෙළෙඳපොළේ ඉල්ලුම, දේශීය පරිභෝජනයේ ඉහළ යාම සහ තවත් හේතු රැසක් දැක්විය හැකිය.
ශ්‍රී ලංකාවේ පොල් වගාවට සුදුසු ඉඩම් ප්‍රමාණය වර්ෂයෙන් වර්ෂයට අඩු වෙමින් පවතින්නේ පොල් ඉඩම් කෘෂිකාර්මික භූමියට වෙන් කිරීම අඩු කිරීම සහ නව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවලට ඉඩම් භාවිත කිරීම නිසාවෙනි. පොල් වගාවට ඇති ඉඩම් පරිමාව මෙසේ සීමා වීම නිසා  වර්තමානයේ පොල් නිෂ්පාදනය අවම වී ඇත.
තවද දේශගුණික විපර්යාස, අයහපත් කාලගුණ තත්ත්වයන් නිසා පොල් වගා කර තිබෙන ප්‍රදේශවල වගාව පාළුවී ඇත. විශේෂයෙන් දිගුකාලීන වියළි කාලවකවානුව සහ අධික උෂ්ණත්වය නිසා පොල් ගස්වල ඵලදාව අඩු වී ඇති අතර, ඒ නිසා පොල් ගෙඩිවල ප්‍රමාණය මධ්‍යම පළාතේ සහ නිරිතදිග ප්‍රදේශවල අධික ලෙස පහළට ගොස් තිබේ.
එසේම පොල් වගා කිරීමේ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය පොහොර, කෘෂි රසායන සහ කෘෂි උපකරණවල මිල ඉහළ යාම නිසා ගොවීන්ට වැඩි පිරිවැයක් යෙදීමට සිදුවී ඇත. මෙම වියදම් ඉහළ යාම නිසා පොල් ගොවීන් පොල් මිල ඉහළ දැමීමට අකමැති වුවත් විකුණුම් මිල වැඩි කිරීමට පෙළඹේ.
ලෝකයේ විවිධ රටවල පොල් නිෂ්පාදන සඳහා වූ ඉහළ ඉල්ලුමත් මෙම අර්බුදයට බලපා තිබේ. පොල් තෙල්, පොල් කිරි සහ පොල් පවුඩර් වැනි නිෂ්පාදන සඳහා ඇති විදේශීය වෙළෙඳ පොළේ ඉල්ලුමත්, දේශීය පොල් සපයන්නන්ට විශාල ප්‍රතිචාරයක් දක්වයි.
ශ්‍රී ලංකාවේ දේශීය පරිභෝජන කාණ්ඩවලට පොල් සහ පොල් නිෂ්පාදන අත්‍යවශ්‍ය වෙන අතර, විශේෂයෙන්ම ආහාර පිසීමේදී පොල් කිරි හා පොල් තෙල් අවශ්‍ය වේ. එහෙත් පරිභෝජන පරාසය ද විශාල වශයෙන් වැඩි වීමත් සමඟ ඉල්ලුම ද ඉහළ ගොස් තිබීම නිසා සීමිත සැපයුම සහිතව ඉහළ මිලක් තීරණය කිරීමේ හැකියාව ලබා දී ඇත.
පොල් වගාව සඳහා බලපාන පාරිසරික හා ආර්ථික පාලනයේ අඩුපාඩු සහ වගා කළමනාකරණයේ අධික වියදම, රසායනික පොහොර පද්ධති පාවිච්චිය, සහ ගමනාගමන සම්බන්ධිත ගැටලු ද මෙම පොල් මිල ඉහළ යාමට බලපාන අනෙකුත් සාධක ලෙස දැක්විය හැකි අතර මේ සියල්ල එකට එකතු වීම නිසා ශ්‍රී ලංකාවේ පොල් මිල මෑත කාලයේදී ජනතාවට දැරීමට නොහැකි අයුරින් ඉහළ යාම නොවැළැක්විය හැක්කකි.

කෞශල්‍යා    ලක්ෂානි