

මේ වන විට ශ්‍රී ලංකාවේ හෝටල්වල බුෆේ (Buffet) ක්‍රමයට ආහාර පිළිගැන්වීම බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. තරු පහේ හෝටල්වල මෙන්ම, තරු හතරේ, තරු තුනේ හෝටල්වල ද ඔවුන්ගේ සේවාදායකයන් සඳහා බුෆේ ක්‍රමයට ආහාර පිළිගැන්වීම ද බෙහෙවින් ජනප්‍රිය වී ඇත.
ඔබ නිවාඩුවක් ගත කිරීමට තෝරාගන්නා බොහෝ හෝටල්වල බුෆේ ක්‍රමයට ආහාර පිළිගැන්වීම දැකගත හැකි අතර, එහිදී එදින නවාතැන් ගෙන සිටින පුද්ගලයන් ප්‍රමාණය සැලකිල්ලට ගනී. අඩු අමුත්තන් සහිත දිනයකදී නම්, ඔවුන් බොහෝ විට මෙනුපතෙන් (Menu) ආහාර ඇණවුම් කිරීමට සැලැස්වීම හෝ සකස් කරන ලද මෙනුපතකින් ආහාර පිළිගැන්වීම සිදු කරයි. ඔවුන් පෙර සකස් කරන ලද මෙනුපතක් පිළිගන්වන අවස්ථාවකදී ඔබට ඇති තෝරා ගැනීම් සීමා සහිත වේ. නමුත්, බුෆේ ක්‍රමයට ආහාර පිළිගැන්වීමේදී කැමැති ප්‍රමාණයට ආහාර බෙදා ගැනීමේ අවස්ථාව ලැබෙයි. එමෙන්ම, තෝරාගැනීම් ද විශාල ප්‍රමාණයකි.
අද වන විට බොහෝ හෝටල්වල විවිධ මිල ගණන් යටතේ දිවා ආහාර සහ රාත්‍රී ආහාර සඳහා බුෆේ පහසුකම පමණක් ලබා දී ඇත. එහිදී ඔබ කළ යුත්තේ, අමුත්තන් ප්‍රමාණය පිළිබඳව කල් තියා දැනුම් දී, ඔබේ ඉඩ වෙන් කරවාගැනීමයි. එහිදී ඔබ එම හෝටලයේ නේවාසික අමුත්තකු වීම අත්‍යවශ්‍ය කාරණාවක් නොවේ. ඔබට දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය ගැනීම සඳහා පමණක් එම හෝටලයේ මේසයක් වෙන් කරගැනීමේ හැකියාව පවතී.
ආහාර වර්ග විශාල ප්‍රමාණයක් ඇති නිසා, එහි ආහාර බෙදා ගැනීමේදී ඔබ තරමක් අපහසුතාවට පත්විය හැකිය. අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව නිරීක්ෂණය වීම හේතුවෙන්, මෙම ලිපිය ඔස්සේ අපි ඔබට ඒ පිළිබඳව යම් අදහසක් ලබා දීමට සිතුවෙමු.
- කළ යුතු දේ - බුෆේ එකට යාමට පෙර කුඩා හා සමතුලිත ආහාර අනුභව කරන්න. බුෆේ එකෙන් ආහාර ගැනීමට පෙර ඔබ ලබා ගන්නා ආහාර වේල සඳහා බර ආහාර ලබාගතහොත් ඔබට බුෆේ එකෙන් ආහාර ගැනීම අපහසු වනු ඇත.
- නොකළ යුතු දේ - බුෆේ එකට ගිය පසු ඔබගේ ඇස ගැටෙන පළමු ආහාරයම පිඟානට බෙදා නොගන්න.
- කළ යුතු දේ - බුෆේ එක ආරම්භ වන ස්ථානයේ සිට අතුරුපස ඇති ස්ථානය දක්වා ඇවිද ඔබට රුචියක් දනවන ආහාර පිළිබඳව අදහසක් ගන්න.
- නොකළ යුතු දේ - නිර්මාංශ ලෙස ලේබල් කර ඇති ආහාර සෞඛ්‍ය සම්පන්න යැයි නොසිතන්න.
- කළ යුතු දේ - ඒවා ඉදිරියෙහි සඳහන් කර ඇති ලේබලය හොඳින් කියවන්න. ඔබ නිර්මාංශ නම්, හෝ ඔබට යම්කිසි ආහාරයක සංකූලතාවක් ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් වී ආහාර බෙදාගන්න.
බුෆේ එක ආරම්භ වන තැන සුප් වර්ග හා සලාද වර්ග ඔබට හමු වේ. සුප් වර්ග සමග විවිධාකාරයේ පාන් හා බනිස් වර්ග ද පිළිගන්වා ඇත. පළමුවෙන්ම සලාද ඔබ කැමැති ආකාරයට බෙදාගන්න. එහිදී සකස් කරන ලද සලාද වර්ග හා ඔබ කැමැති ආකාරයකට, කැමැති අමුද්‍රව්‍ය යොදා, ඔබගේ රසට ගැළපෙන පරිදි සලාද සකස් කරගැනීමේ හැකියාව ද බුෆේවලදී ඔබට ලැබෙයි. සුප් වර්ග සමග පිළිගන්වා ඇති පාන් වර්ග බෙදාගැනීමේදී තරමක් සැලකිලිමත් වෙන්න. පමණට වඩා පාන්, බනිස් වර්ග බෙදාගැනීම නුවණට හුරු නැත. නමුත් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ, එලෙස පාන් වර්ග ආහාරයට ගැනීමෙන්, තව තවත් ආහාර බෙදාගැනීමට ඔබව යොමු කිරීමයි. ඔබ බර පිළිබඳව සැලකිලිමත් වන කෙනෙක් නම්, ඒ පිළිබඳව අවධානය යොමු කරන්න.
බුෆේ එකක ඇති සියලුම ආහාර වර්ග අනුභව කළ යුතු යැයි නීතියක් නැත. ඔබට නිසි පරිදි ඔබ කැමැති ආහාරයක් කැමැති ප්‍රමාණයකින් බෙදාගැනීමට එහිදී ඉඩ ලැබෙයි. එලෙස ඉඩ ලැබූ පමණින්ම ආහාර කඳු ලෙස ගොඩගසා ගැනීම යෝග්‍ය නොවේ. එක පිඟානකට සියලුම ආහාර වර්ග බෙදා නොගන්න. විවාහ මංගල්‍යයකදී මෙන් පිඟන් පිළිබඳව ගැටලුවක් ඇති නොවන බැවින්, පිළිවෙළට ඔබේ ආහාර පිඟානට බෙදා ගන්න. ඔබට ඕනෑ තරම් පිඟන් ප්‍රමාණයක් භාවිත කළ හැකි බැවින් එකම පිඟානට ආහාර ගොඩගසා නොගන්න.
ඔබ කැමැති නම්, පළමුව ඉතා සුළු ප්‍රමාණයෙන් ආහාර රසවිඳින්න. තවදුරටත් ඔබට බඩගිනි ස්වභාවයක් දැනේ නම්, තවත් ආහාර බෙදා ගන්න. එකවර විශාල ප්‍රමාණයක් ආහාර බෙදා ගැනීමෙන් ආහාර නාස්තිය හා විවිධ ආහාර වර්ග රසවිඳීමට ඔබට ඇති අවස්ථාව අහිමි වේ. ප්‍රධාන ආහාර වේලේදී (Main Course) විවිධ රටවල්වල ආහාර ඔබට දැකගත හැකිය. ශ්‍රී ලංකන්, ඉන්දියන්, තායි, වෙස්ටර්න්, ජැපනීස්, චයිනීස්, ඉටැලියන්, මොංගෝලියන් ආහාර වර්ග මෙරට තුළ ඇති බුෆේවල සුලබව දැකිය හැකිය.
අතුරුපස සඳහා ඔබට විවිධාකාරයේ අතුරුපස වර්ග පිළිගන්වා ඇති නමුත්, ඔබට ආහාරයට ගත හැකි ප්‍රමාණයට ඒවා බෙදා ගන්න. මන්ද, පැණි රස ආහාරයට ගැනීමේදී ඉක්මනින්ම ඔබේ බඩ පිරේ. පලතුරු පිළිගන්වා ඇති අවස්ථාවලදී, අනෙකුත් පැණි රස අතුරුපස බෙදා ගැනීමට පෙර අන්නාසි වැනි පලතුරු තරමක් වැඩියෙන් ආහාරයට ගන්න. ඉන් පසු ඔබට රිසි පරිදි අනෙකුත් අතුරුපස බෙදාගන්න.
අවම වශයෙන් පැය තුනක පමණ කාලයක් බුෆේ එකක් විවෘතව පවතින බැවින්, හොඳින් වේලාව ගෙන ආහාර අනුභව කරන්න. එක ආහාර වර්ගයක් ගැනීමෙන් පසු අනිත් ආහාර වර්ගය බෙදා ගන්න.
බුෆේවල මිල ගණන් පිළිබඳව ද මෙහිදී සඳහන් නොකරම බැරිය. කොළඹ තරු පන්තියේ හෝටල් බහුතරයකගේ දහවල් බුෆේ මිල ගණන් රුපියල් 5,000 - 9,000 අතර පවතියි. රාත්‍රී බුෆේ මිල ගණන් 4,100 - 9,000ත් අතර වේ. එම මිල ගණන් අනුව ඒවායේ ඇති ආහාර වර්ග අඩු වැඩි වේ.
උදෑසන ආහාර වේල සඳහා ඇති බුෆේ එතරම් ජනප්‍රිය නොවුණත්, බොහෝ හෝටල්වල උදෑසන ආහාරය සඳහා ද බුෆේ ඇත. එමෙන්ම, උදෑසන හා දහවල් ආහාරය යන ආහාර වේල් දෙකම එකවර ලබා ගැනීම සඳහා ද බුෆේ ඇත (Brunch Buffet). එය උදෑසන 11.00 සිට දහවල් 1.00 දක්වා ක්‍රියාත්මක වෙයි.
ඔබ මුදල් වැය කරමින් තරු පන්තියේ හෝටලයක ලබාගන්නා මෙවැනි අත්දැකීමකදී එම අවස්ථාව හොඳින් විඳින්න.