|
|
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි නවසීලන්තය ලෙස නම් ලැබූ සීතල බෙල්වුඩ් ප්‍රදේශය සංචාරක නේත්‍රාකර්ෂණය නො අඩුව දිනාගත් ස්වභාව සෞන්දර්යයෙන් අත්‍යාලංකෘත සංචාරක ගමනාන්තයකි.
මුහුදු මට්ටමේ සිට අඩි 2900ක උසින් පිහිටා ඇති මෙම නිස්කලංක පාරාදීසය 1870 දී පමණ ඉංග්‍රීසින් විසින් ආරම්භ කළ සුන්දර තේ වතු යායකින් වට වී ඇත. දළ බෑවුම් හා කඳු වලින් සමන්විත බෙල්වුඩ් පාරාදීසය විශේෂයෙන් කඳු නගින්නන් හා කඳවුරු බඳින්නන් අතර ප්‍රචලිත ප්රදේශයකි. බෙල්වුඩ් යනු ස්වභාව ධර්මයයෙන් පොහොසත් ස්ථානයක් වගේම ඉතිහාසයට ද එක් වූ ස්ථානයකි.
බෙල්වුඩ් අත්දැකීම තුළ සැබවින්ම ගත යුතුව ඇති දේ බොහෝමය. සශ්‍රීක වනාන්තර හරහා ගමන් කරමින් කුරුල්ලන් නැරඹීම වැනි ස්භාවික සුන්දරත්වය විඳීමට හැකිය.
බෙල්වුඩ් වන රක්ෂිතය දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ඇතුළු විවිධ ශාක හා සත්ත්ව විශේෂවල නිවහන වන අතර වසරේ ඕනෑම කාලයක දී මෙහි පැමිණීමට හැකියාව ඇති අතර ඒ ගමන තුළ සංචාරකයන්ට වශී වන්නා වූ සුන්දර දසුන් දැක බලා ගැනීමට හැකිය.
මහනුවර, අම්පිටිය හරහා තලාතුඔය පසුකර මොරගොල්ල පාරේ, මනරම් වැවකට ඉහළින් මෙම බෙල්වුඩ් පිහිටා ඇති අතර මෙය කිලෝ මීටර් 4ක් පමණ උස කන්දක් හා ඒ මත පිහිටා ඇති තැනිතලාවකින් සමන්විත වේ. මහනුවර-ගලහ බසයක නැග පැයක් පමණ ගිය පසු බෙල්වුඩ් වෙත ළඟා විය හැකි අතර කොළඹ සිට දුර කිලෝමීටර 163 කි.
බෙල්වුඩ් කන්ද ආසන්නයට ම බසයෙන් යා හැකි අතර බසින ස්ථානයේ ම කෝවිලකි.
එතැනින් වම් පසට හැරෙන මාර්ගයේ ගමන් කළ යුතු අතර බෙල්වුඩ් අවසාන නැරඹුම් ස්ථානය වන තුරු ම යතුරු පැදියකින් හෝ උස් වාහනයකින් ගමන් කිරීමට හැකි වීම ද විශේෂත්වයකි.
පුරාවෘත්තවලට අනුව මෙම ස්ථානයට බෙල්වුඩ් යන නම ලැබී ඇත්තේ පහළ පිහිටි තේ කර්මාන්ත ශාලාවේ හිමිකරු කම්කරුවන්ගේ රාජකාරි වෙලාවන් දිවා ආහාරය සහ තේ විවේකය ආදිය පිළිබඳ දැනුම් දීම සඳහා ලී වලින් සාදන ලද විශාල සීනුවක් භාවිත කළ නිසා යැයි කියැවේ.
මෙහි ගමනාරම්භයේ සිට අවසානය දක්වාම දැකිය හැකි විශාලව ඝන ව වැඩුණු ෆයිනස් ගස් සමූහය බෙල්වුඩ් ප්‍රදේශයට සපයනුයේ අද්භූත මිහිර මුසු අලංකාරයකි. මීදුම අතරින් අඛණ්ඩව හමාගෙන එන සුළඟ ද බෙල්වුඩ් ප්‍රදේශයට අනන්‍ය සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.
විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔබ බෙල්වුඩ් ගමන් කිරීමට බලාපොරොත්තු වනවා නම් සුළඟට හා සීතලට ඔරොත්තු දිය හැකි පරිදි සූදානම් වීමත්, අවශ්‍ය පමණට ජලය හා කූඩැල්ලන්ගෙන් සුරැකී සිටීම සඳහා සිද්ධාලේප වැනි යමක් රැගෙන යාමත් යෝග්‍ය වන බවයි. එසේ ම කඳවුරු ඔබ බැඳීමට අපේක්ෂා කරනවා නම් කූඩාරම් ගැසීමට අවශ්‍ය උපකරණ, ප්‍රමාණවත් ආහාර, උඳුන් සහ ගිනිමැල ගැසීමට අවශ්‍ය සියලු ද්‍රව්‍ය රැගෙන යා යුතු ය.
මෙම බෙල්වුඩ් ගමන් මාර්ගයේ ඉහළට ගමන් කරන විට කඳු පන්තීන්, ෆයිනස් යාය හා කුඩා විලක් මෙන් ම අත්හැර දමන ලද තිරිවාන ගල් කඩන ස්ථානයක් ද දැක ගත හැකිය. එසේම තවත් විශේෂ ම ස්ථානයක් වන්නේ මුතු කෙළියාව වැව හා නැරඹුම් ස්ථානයයි. කඳු පාමුල සිට 4km පමණ උසකින් පිහිටි මෙම නැරඹුම් ස්ථානය සෑම කෙනෙකුගේ ම හදවත ඇඳබැඳ බැඳගන්නා දර්ශනයක් පිරිනමනුයේ ස්වභාවධර්මයේ ශ්‍රේෂ්ඨත්වයට සාක්ෂි සපයමිනි.
එහි අංශක 360ක් වූ විස්මයජනක දර්ශන පථයකට හසුවන පරිදි නිර්මාණය කර ඇති තේජාන්විත වික්ටෝරියා වේල්ල, රන්දෙණිගල සහ පුළුල් පල්ලෙකැලේ පිටිය බෙල්වුඩ් හි සුන්දරත්වය තවත් පෘථූල කරයි. බෙල්වුඩ් හි හදවතෙහි පිහිටා ඇති මෙම මුතුකෙලියාව නැරඹුම් ස්ථානය ගමනාන්තයකට වඩා සශ්‍රීක වෘක්ෂලතාදියෙන් වට වූ සහ ඇසට පෙනෙන තෙක් මානයට විහිදෙන දසුන් පිරි, කඩිමුඩියේ දුවන ජීවිතවලට නිස්කලංකත්වයේ අරුමය කියාපාන සොඳුරු ස්ථානයකි.
කඳවුරු බඳින්නන්ට මුතුකෙලියාව තෝතැන්නකි. කූඩාරම් ගැසීමට සුදුසු තැන්නක් සහිත සුවපහසු එළිමහන් අත්දැකීමක් ලබා ගනිමින් අවට ලෝකයෙන් විසන්ධි වී සොබාදහම සමඟ සම්බන්ධ වීමට හොඳම ස්ථානයක් ලෙස බෙල්වුඩ් හඳුන්වා දිය හැකි ය. සුළං සමඟ මෘදුව ඇසෙන තුරුපත් සැලෙන ඝෝෂාව සහ කුරුල්ලන්ගේ දුරස්ථ නාද සංධ්වනිය මෙම පාරාදීසයේ සුන්දරත්වයට තවත් සාධක සපයයි.
මෙම බෙල්වුඩ් නැරඹුම් ස්ථානය හුදෙක් සමස්ත පරිසර පදාසය ම ස්වකීය සංචාරකයන්ට පෙන්වීමට අමතරව තවත් සොඳුරු අත්දැකීම් සමූහයක් සපයයි. ඡායාරූපකරණය, ජල ක්‍රියාකාරකම්, රාත්‍රී තරු නැරඹීම, කුරුල්ලන් නැරඹීම මෙන් ම විවිධ ක්‍රීඩා කිරීමට ද කදිම නවාතැනකි.
රාත්‍රී කඳවුරු බඳින්නන්ට හමුවන සොඳුරු ම අත්දැකීම වනුයේ ගොම්මනේ ක්ෂිතිජ රේඛාවටත් ඉහළ සිට ඉර බැසයාම නැරඹීමටත් අලුයම ඉර නැගීම නැරඹීමටත් ලැබීමයි. මුතුකෙළියාව නැරඹුම් ස්ථානයේ සිට බලන විට පෙනෙන තවත් නේත්රාකර්ෂණීයම දසුනක් වනුයේ සුදෝසුදු වළා සමූහය අපට පහළින් පාව යන්නාක් මෙන් පෙනීමයි. වෙනත් අයුරකින් කිවහොත් අප වලාකුළුවලට ඉහළින් සිටින්නාක් මෙන් දිස්වීමයි. එතරම් උස් ව නොපිහිටීමත්, සංකීර්ණ නොවන ගමනක් වීමත්, වන සතුන්ගේ උවදුරුවලින් තොර වීමත්, කඳු පාමුලට ම ප්‍රවාහන පහසුකම් තිබීමත් හේතුවෙන් බෙල්වුඩ් කඳවුරු බිම මිතුරන් සමඟ, පෙම්වතුන් සමඟ පමණක් නොව පවුලේ සියල්ලන්ට එක් ව ගොස් කඳවුරු බැඳ විනෝද විය හැකි සාමකාමී තැනක් බැව් කිව හැකි ය.
තවත් වැදගත් ම කරුණක් වන්නේ ගමන අතරතුර හෝ කඳවුරු බැඳ සිටින අතරතුර යම්කිසි හදිසි අවශ්‍යතාවක් මතු වුවහොත් අවට පිහිටි ගම්මාන වෙත ඉතා ඉක්මනින් හා පහසුවෙන් ළඟා වීමට හැකි වීමත් ආරක්ෂාව පිළිබඳ ගැටලු ඉස්මතු නො වීමත් ය.
සශ්‍රීක භූ දර්ශනයන්ගෙන් අනූන විචිත්‍රවත් ගැමි පරිසරයක තේ වතු, කෙත්වතු සහ දුර කඳුකරයේ දසුන්වලින් සමන්විත සෞම්‍ය සිසිල් දේශගුණයක පහස විඳ ගැනීමට ඔබ බෙල්වුඩ්හි රැයක් ගත කිරීමට යා යුතුම ය. එක් වරක් හෝ මෙම මිහිරියාව අත්විඳගතහොත් සිරිලක මෙතරම් සුන්දරදැයි ඔබට නිසැකයෙන්ම හැඟෙනු ඇත. ඉතින් ඔබත් පැමිණ මේ සොඳුරු පරිසරයේ සිසිල හා චමත්කාරය විඳ පා සටහන් පමණක් ඉතිරි කොට පැමිණෙන්න.
ශ්‍රී ලංකාවේ බෙල්වුඩ් යනු අමතක නොවන සංචාරක අත්දැකීමක් ලබාදෙන අතර මෙම පරාදීසය ස්වභාවධර්මයට ආදරය කරන්නෙකු වුවද නැවත නැවතත් පැමිණ මෙම පරිසරය විඳීමට කැමැත්ත දක්වයි. මේ සුන්දර පාරිසරික හරිත නිවහනට හානියක් නොවන අයුරෙන් පැමිණ බලා සුන්දරත්වය විඳීමට වග බලා ගත යුතු අතරම මෙය ආරක්ෂා කර ගැනීමේ වගකීම ද සියලු දෙනා සතු වේ.
ලවංගා මාධවී දෑරංගල