මෝසාර්ට් උපන්න සල්ස්බර්ග් ගමේ ආදර පාලම


 
ලෝකයේ ජීවත්වීමට වඩාත් සුදුසු නගරය වන්නේ ඔස්ට්‍රියාවේ වියානාය. කොහොමටත් ඔස්ට්‍රියාව යනු ආදරණීය මිනිසුන් බොහෝමයක් වෙසෙන සුන්දර යුරෝපීය රටකි. ලෝකයට සම්භාව්‍ය සංගීතයක් බිහිකිරීමට පුරෝගාමී වූ මොසාර්ට් උපන්නේද මේ සුන්දර ඔස්ට්‍රියාවේදී සල්ස්බර්ග් නුවරදීය. ඔහු මියගියේ අග නගරය වන වියානාවේදීය. අද අප ඔබට පවසන්නේ මොසාර්ට් උපත ලැබූ සල්ස්බර්ග් නගරය වෙත යාමට ඇති ප්‍රධාන පිවිසුම වන සල්සා නදියට ඉහළින් තනා ඇති පාලම ගැන වූ කතාවකි. 
 
මේ පාළම ආදරණීය පාලමකි. ආදරය පුරවා ගත් ආදරය අගුළු ලා ගත්, ආදරයෙන් මාංචු දා ගත් පාලමකි. ජීවිතයට ආදරයම මිසක තව වෙන මොනව ද? එනිසාම බොහෝ සැරිසරන්නන්ගේ ආදරණීය ගමනාන්තයක් බවට මේ පාළම පත්ව තිබේ. සමහර ආදරවන්තයින් මෙහි පැමිණෙන්නේ ආදරය ප්‍රකාශ කිරීම හෝ ගිවිස ගැනීම වෙනුවෙන්මය. ආදරයේ සුවඳ ගලා යන, ආදරය පිරුණු සල්සා පාලම මත සිට අපි ඒ ආදර පාලමේ කතාව කියවමු. 
 
Love Lock Bridge 
ආදර අගුළු දැමූ පාලම 
 
යුරෝපයේ ආදරවන්තයින් විශේෂිත තැන්හි සැරිසරන විට, මෙම ආදර අගුළු දැමීම සිදු කරයි. පෙම්වතාගේ නාමයෙහි මුලකුර සමඟ පෙම්වතියගේ නාමයෙහි මුලකුර එම අගුලෙහි මතුපිට සටහන් කර අගුළු ලා යතුර ගඟට විසිකර දැමීම සිදුකරයි. බොහෝ විට මෙලෙසින් ආදර ඉබ්බන් හෙවත් අගුළු රඳවන්නේ පාලම දෙපස ඇති ලෝහමය රැහැන් මතය. ආදරවන්තයින්ට ආදර ඉබ්බන් එල්ලීම සඳහා පහසු පරිදි එලෙසින් පාලම් නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි. ලව් ලොක් බ්‍රිජ් නමින් හැඳින්වෙන මෙම පාලම් බිහිවූ අතීතය වසර 100කට වඩා පැරණිය.
 
ඒ ඉතිහාස කතාවට අනුව සර්බියානු ජාතික තරුණියක හට අවශ්‍ය වූයේ තම ප්‍රේමය සදාතනිකව ආරක්ෂා කර ගැනීමටය. ඇය නාඩා නම් වූවාය. ඇය පෙමින් වෙළී සිටියේ හමුදා නිලධාරියකුව සිටි රීජා (Relja) සමඟය. 
 
පළමු ලෝක යුද්ධය ඇරඹීමට පෙර සෑම රාත්‍රියකදීම මේ දෙදෙනා හමුවූයේ Vrnjacka Banja නගරයේ තිබූ පාලමක් මත දීය. ලතාවකට ගලා යන නදියක රිද්මය දෙස බලමින් ඔව්හු පෙම්බස් දොඩමින් ළා සඳ එළියේ ගත කළේ ඒ නදිය ඉහත්තෑවේ තිබූ පාලම මත සිටය. ඔවුන්ගේ ආදරය මෙන්ම එවකට ජීවත්වූ බොහෝ දෙනාගේ ආදර සබඳතා දුරස් වූයේ පළමු ලෝක යුද්ධය ඇරඹීමත් සමඟය. 
 
 
සල්සා ගංගාව
රීජා රාජකීය හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කරමින් සිටි නිසා ඔහුට යුද බිම වෙත යාමට සිදුවිණි. නමුදු ඉනික්බිතිව යළි කිසිදාක ඔහු නාඩා සොයා නාවේය. ඔහු ග්‍රීසියට ගොස් සිටි බව ඇය හට දැන ගන්නට ලැබිණි. කෙසේ වෙතත් රීජා නැවත ඒ යැයි යන සිතිවිල්ල පෙරදැරිව සෑම රාත්‍රියකම පාලම මත ගත කිරීමට නාඩා වග බලා ගත්තාය. වෙනදා මෙන්ම දම් පැහැ සඳ එළියද රන් පැහැයෙන් දිදුලන තරු රෑන වගේම රිදී නදියේ රිද්මයද ඇය දුටුවාය.  රීජා සිටියේ නම් කොච්චර හොඳද ඇය හීන් සැරේ ඇයටම කියා ගත්තාය. ඒ කෙඳිරිල්ල මිමිණිල්ල නතර වූයේ ඇයගේ ආදර සුසුම් පොද සදහටම නතර වූ නිසාය. අවසන් සුසුම් හෙළන තෙක් ඇය ගත කළේ ඒ පාලම නිවහන කරගෙනය. 
 
නාඩා ගේ මේ ගැඹුරු ආදරය කතාව අන්‍යයන් අතර ප්‍රචලිත වන්නට පටන් ගත් අතර ආදරයෙන් බැඳී - වෙළී සිටි තුරුණු පෙම්වතුන් එදා සිට හොර රහසේම මේ ගඟ මත තිබූ පාලම වෙත පැමිණ මෙලෙස ආදර අගුළු රඳවන්න පටන් ගත්තේ පෙම්වතා කිසි දිනෙක හැර නොයනවාය යන ප්‍රාර්ථනාව සපථ කරමිනි. 
 
මුලින්ම තුරුණු ගැහැනු ළමුන් තම පෙම්වතාට හොරෙන් මෙසේ ආදර අගුළු රැඳවූ අතර කල් යත්ම එය ට්‍රෙන්ඩ් එකක් හෙවත් රැල්ලක් බවට පත්වී ආදරවන්තයින් මේ ආදර අගුළු රැඳවීම කරන්නට පටන් ගත් වග සඳහන් කළ හැකිය. ඔවුනට අමතරව විවාහ වූ යුවළ මෙන්ම මැදිවියේ අය පවා මෙය කරන්නට පටන් ගත්තේ විලාසිතාවකට එහා ගිය ආදරණීය ස්මරණයක් හැටියටය. 
 
පාලමෙන් එහාට ගිය මේ ආදර ඉබ්බෝ ලෝ ප්‍රකට ස්ථානවල ඇති ප්‍රතිමා සහ තවත් තැන් හි රඳවන වග දකින්නට ලැබේ. යුරෝපයේ රටවල මෙන්ම තවත් රටවල ඇති පාලම් සහ සමරු ස්ථානවල මෙම ආදර අගුළු හෙවත් අපේ හැඳින්වීම් අනුව ආදර ඉබ්බන් දැක ගත හැකිය. සල්ස්බර්ග්හි සල්සා නදිය ඉස්මත්තේ ඇති සල්සා පාලම ඒ අතර වූ තවත් ආදර පාලමකි.
 
ආදර ඉබ්බන්ගෙන් පිරි සල්ස්බර්ග් පාලම 
 
සල්ස්බර්ග් නගරය මැදින් ගලා යන සල්සා (Salzach) ගංගාව ඇල්ප්ස් කඳු වැටියේ කොටසකින් ආරම්භ වී ජර්මනියේ බැවේරියා කලාපය හරහා ඔස්ට්‍රියාවට හැඩයක් දෙමින් ගලා යන ගංගාවකි. සැතපුම් 141ක් පමණ දිග (කිලෝ මීටර් 227) මෙම සල්සා නදිය අවසන සම්බන්ධ වෙන්නේ යුරෝපයේ දෙවැනි විශාලතම ගංගාව වන ඩැනියුබ් ගංගාවටය. ජර්මනිය හා ඔස්ට්‍රියාවට අමුතුවෙන් දේශසීමා මායිම් සලකුණු කළ යුතු නොවන්නේ ස්වභාවයෙන්ම සල්සා නදිය ඒ සලකුණ රිදී ජල රේඛාවෙන් සදාතනිකව සලකුණු කර ඇති නිසාවෙනි. සලස්බර්ග් යනු ජර්මනියේ බැවේරියාවේ කෙළවරට වන්නට ඒ සල්සා නදියට එපිටින් පිහිටි නගරය වේ. ඔස්ට්‍රියාවට ඇතුළු වූ පසු සල්ස්බර්ග් පුරාණ නගර මධ්‍යය වෙත යාමට නම් සල්සා නදිය ඉහළින් තනා ඇති පාලම මතින් යා යුතුය. එය සල්සා පාලම ලෙස කටවහරට හැඳින් වුවද එහි සැබෑ නාමය වන්නේ මැකාර්ස්ටෙග් (Makartseg) Bridge (පාලම) යනුවෙනි. එලෙසින් එය නම් කර ඇත්තේ 19 සියවසේ වියානාවේ සම්භාවය ශාස්ත්‍රීය රසයට අරුතක් දුන් චිත්‍ර ශිල්පියකුව සිටි හාන්ස් මැකාර්ස්ටෙග් සිහිවීම පිණිසය. 
 

මොසාර්ට් සැමරුම් නිෂ්පාදන

මැකාර්ස්ටෙග් ඇඳි අපූරු චිත්‍ර මෙම සල්ස්බර්ග් නගරයේ ගොඩනැගිලිවල දී දැකගත හැකි අනර්ඝ නිර්මාණ ලෙස සඳහන් වේ. ඔහුගේ නමින් ඉඳි වූ මෙම පාලම පළමුව විවෘත වූයේ 1905 දී යැයි සඳහන් වේ. ඉනික්බිතිව එය සංවර්ධනය කර 1967 දී විවර වූයේ එල්ලෙන පාලමක් ලෙසය. එලෙසින් පැද්දෙමින් 41 ඒ පාලම 2000 දී පමණ නවීකරණය කර තිබේ. එලෙසින් නවීකරණය කළ පසු සංචාරක ආකර්ෂණය පවත්වා ගැනීම වෙනුවෙන් මෙම පාලම අවට කලාපයේ විචිත්‍රවත් දේ සංවිධානය වේ. ඒ අතර සමහරදාට ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙන අතර එය අතිශය විචිත්‍රවත් දර්ශනයක් මවන බව සඳහන් කළ හැකිය. පාලම අවට කලාපයේ සංචාරකයින්ගේ පහසුව සඳහා පාරවල මෙන්ම අවන්හල් සහ සමරු තිළිණ ලබා ගැනීම වෙනුවෙන් කඩ සාප්පු තනා තිබේ. සලස්බර්ග් නගරය යනු කලාගාරයක් මෙන් වූ තෝතැන්නකි. ශාස්ත්‍රීය රසයෙන් වාර්තාවක් වූ මේ කලාපයේ චිත්‍ර ශිල්පීන් මෙන්ම ගායන – වාදන ශිල්පීන් තැන – තැන සිටිනු දැකගත හැකිය. ඒ සියලු දෙනා මොසාර්ට් නම් වූ විශ්ව සංගීතඥයාගේ උපන් ගම්මානයේ සිට තව දුරටත් එය කලාත්මක තෝතැන්නක් බවට පත් කරවීමට රිද්මයක් සපයන බව දක්නට ලැබේ. 

පැඩ්ලොක් (Padlock) හෙවත් අපේ වහරට කිවහොත් යතුරු ඉබ්බන්ගෙන් පිරි මැකාර්ස්ටෙග් පාලම ඔස්සේ දිනකදී විසිපන්දහසක (25,000ක) පිරිසක් ගමන් කරන බව සඳහන් වේ. ශීත සමයේදී ඒ ප්‍රමාණය තරමක් අඩු වුවද ගිම්හාන කාලයේදී නම් මේ ගඟ අවට කලාපය සංචාරකයින්ගෙන් බහුලව පවතී. යුරෝපයේ ඇති පාලම් දෙපස මෙලෙසින් අගුළු දැකගත හැකිවීම පෙර සඳහන් කළ පරිදි අරුමයක් නොවුවද මේ මැකාර්ස්ටෙග් පාලම වඩාත් ආකර්ෂණීය වී ඇත්තේ අගුළු ප්‍රමාණය වැඩි නිසාය. කෙටියෙන් කිවහොත් තවත් පැඩ්ලොක් එකක් යතුරු (ඉබ්බෙක්) එල්ලීමට ඉඩක් නැති තරමට අගුළු එල්ලා ඇත. තාරුණ්‍යයේ නොනවතින ආදරය සංකේතවත් කිරීමට එය කදිම නිදසුනක් ගෙන හැර දක්වන්නකි. ඒ නොනවතින ආදරය සංකේතවත් කරන්නේ අගුළු ලා යතුර ගඟට විසි කිරීම මගිනි. යතුරු නැති පැඩ්ලොක් ද ඒ අතර දැකගත හැකිය. ඒවායෙහි අගුළු දැමිය හැක්කේ එක්වරක් පමණකි. ආයේ සදාකාලයටම ඒවා විවෘත කළ නොහැකිය. සමහර අගුළු (ඉබි යතුරු) තනා ඇත්තේ හදවතේ හැඩයටය. එමෙන්ම ඒවා රතු පැහැයෙන් යුතුය. රෝස පැහැ දම් පැහැ ආදි පාටවලින්ද දකින්නට ලැබේ.
 
 
මැකාර්ස්ටෙග් පාලම (Love Lock - Bridge)
 
ආදරය මියෙන තුරා පැවතිය යුතු සහ පවතින්නක්ම විය යුතුය. එනිසා මෙහි එල්ලන අගුළු මල නොබැඳිය යුතුය. මෙම යකඩ ඉබ්බන් තනා ඇත්තේ විඛාදනයට හෙවත් මල නොබැඳීමට ඔරොත්තු දෙන පරිදිය. එනිසා මේවා ටිකක් මිල අධිකය. ආදරයට මිලක් නැති නිසා ආදරවන්තයින්ට ඒ මිල දරා ගත හැකිය. මෙම Padlock (අගුළු) හෙවත් යතුරු ඉබ්බන් නිෂ්පාදනය කරනු ලබන්නේ ජර්මනියේ ABUS (ඒ-බී-යු-එස්) August Bremicker Sohne KG සමාගම විසිනි. ඔවුන් ප්‍රසිද්ධව ඇත්තේ Lovelock හෙවත් ආදර අගුළු නිපදවන සමාගම ලෙසය. 

සල්ස්බර්ග්හි සල්සා නදියට ආදරණීය පාලමක් වූ මැකාර්ස්ටෙග් ලව්ලොක් හෙවත් ආදර අගුළු වලින් පිරී ඉතිරි ගොසිනි. එහෙත් එය ඒ පාලමට බර නැත. ආදරය පිරෙන තරමට තවත් සුන්දර බව පාලම දනී. එනිසාවෙන් සල්ස්බර්ග් වෙත යාමට අදහස් කරන ආදරණීයයනි. මතක ඇතිව ලව්ලොක් එකක් රැගෙන යාමට වග බලා ගන්න.

ආදරය පිරුණු ඒ නගරය, සල්සා ආදර නදිය, මැකාර්ස්ටෙග් ආදර පාලම බලා සිටින්නේ ඔබ එන තෙක්ය... 
 
“ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න...” සල්සාවේ හමා යන සීත සුළඟ ඔබට පවසන්නේ එලෙසිනි.
 

සටහන / ඡායාරූප 
  • සඳුන් ගමගේ